නාමයෝජනා ගැන පෙත්සමක්..

වන්නි දිස්ත්‍රික්කයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණයට එරෙහිව පෙත්සමක්

by Staff writer 18-10-2024 | 2:19 PM

COLOMBO (News1st) - නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය  ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික්  තේරීම් භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් පසුගියදා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ එම පක්ෂයේ තිදෙනෙක්.

මැතිවරණ කොමිසමේ සභාපති හා සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවයි.

එම අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් එය භාර ගැනීම ඔහු  ප්‍රතික්ෂේප කළ බව ද පෙත්සමේ සඳහන් වේ.

සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාම යෝජනා පත්‍රය එලෙස ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බැවින් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටී.

එමෙන්ම, පෙත්සම විභාග කර අවසන් තීන්දුව ලබා දෙන තුරු, වන්නි දිස්ත්‍රික්කය සඳහා නොවැම්බර් 
14  පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවද පෙත්සමේ සඳහන් වේ.