කියුබානු තානාපති අගමැතිවරිය හමුවෙයි..

කියුබානු තානාපති අගමැතිවරිය හමුවෙයි..

by Staff writer 16-10-2024 | 2:42 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ඊයේ (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි  අමරසූරිය හමුවිය.

ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවට සහ අග්‍රාමාත්‍යවරියට  කියුබානු රජයේ සුබ පැතුම් පිරිනමන බවයි.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති වසර 65කට ආසන්න දීර්ඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම, කියුබානු ආධාර යටතේ ක්‍රියාත්මක කර තිබූ දැනට නතර වී ඇති මදුරු මර්දන ව්‍යාපෘති ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය හා ක්‍රීඩා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

කියුබාව පසුගිය වසර කිහිපය තුළ මුහුණ දුන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව කෘතඥතාවය පළ කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා කියුබානු අගමැතිවරයාට නිල ආරාධනයක් ද සිදු කළේ ය.

තානාපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට කියුබානු රජයේ අවධානය යොමු වී ඇති බවයි.