ජනාධිපතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දි

අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද...

by Staff writer 13-10-2024 | 7:57 AM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා දීම සඳහා දී තිබූ කාලය, අදින් අවසන් වේ.

මේ වන විට වියදම් වාර්තා දී ඇත්තේ අපේක්ෂකයින් 20 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, දින 21 ක් ඇතුළත ආදායම් - වියදම් වාර්තා ලබා දිය යුතු වේ.

ඒ අනුව එම වාර්තා ලබාදුන් පිරිස අතරට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනක රත්නායක ඇතුලු අපේක්ෂකයින් 20 දෙනෙකු ඇතුළත් ය.

එම වාර්තා භාරදිය යුත්තේ, පිළිගත් දේශපාලන පක්ෂය හෝ, වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා නම් කළ ඡන්ද හිමියා විසිනි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් සංඛ්‍යාව, 38 කි.

ඒ අනුව අද දිනය තුළ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමිසම, ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දේ.

එම වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද, කොමිසම සඳහන් කළේ ය.

එහිදී අදාළ අපේක්ෂකයා අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත්, ඔහුගේ ඡන්ද අයිතිය සහ අසුන අහිමි වනු ඇත.

රුපියල් ලක්ෂයක දඩ මුදලක් එවැනි පුද්ගලයෙකුට නියම කරනු ලබයි.