ධීවරයින්ට අනතුරු ඇගවීම්...

ධීවරයින්ට අනතුරු ඇගවීම්...

by Staff writer 11-10-2024 | 11:23 AM

COLOMBO (News1st) - පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

ඒ, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.

එහි දැක්වෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

එබැවින් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවද කාලගුණ අණාවැකියේ සඳහන් වේ.

කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් තුනක් ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද(11) දිනයේ මිලිමීටර් 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම  දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්.

මේ හේතුවෙන් බස්නාහිර සබරගමුව දකුණු වයඹ සහ මධ්‍යම පළාත්වලට තවදුරටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් වේ.

දිවයිනේ සෙසු පළාත්වලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

බස්නාහිර සබරගමුව දකුණ වයඹ හා මධ්‍යම පළාත්වල පැයට කිලෝ මීටර් 40 ත් 50 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං හා අකුණු අනතුරු වලින් ආරක්ෂාවීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර ඊයේ උදෑසන 8.30 සිට අද උදෑසන 7.00  දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අගය මිලීමීටර් 257.5 ක්.

වතුපිටිවල හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවලට මිලිමීටර් 200 ඉක්ම වූ වර්ෂාපතනයක් අදාළ කාලය තුළ ලැබි තිබේ.

මේ අතර අධික වර්ෂාවත් සමග  ගාල්ල කළුතර  රත්නපුර කෑගල්ල බදුල්ල ,කොළඹ, ගාල්ල, ගම්පහ, හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවිම් තවදුරටත් බලාත්මකයි.