දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි..

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි.. දිස්ත්‍රික්ක 4කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්..

by Staff writer 08-10-2024 | 6:24 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, මේ දිනවල දිවයිනට බලපෑ ඇති අන්තර් මෝසම හේතුවෙනි.

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, අන්තර් නිවර්තන අභිසාරි කලාපය ශ්‍රී ලංකාවට ඉහළින් නිර්මාණය වී ඇති බවය.

මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ, දිස්ත්‍රික්ක හතරක් සඳහා නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට සහ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ  නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු අදියරේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.