මාලදිවයින ජනපති ඉන්දියාවේ නිල සංචාරයක

ඉන්දියාවට ගිය මාලදිවයින ජනපතිට උණුසුම් පිළිගැනීමක්..

by Staff writer 07-10-2024 | 7:19 PM

COLOMBO ( News 1st ) - මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවේ දින 5ක නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

මාලදිවයින, ඉන්දියාවේ ආරක්ෂාවට හානි කිරීමට ක්‍රියා නොකරන අතර නවදිල්ලිය වටිනා හවුල්කරුවෙකු සහ මිතුරෙකු ලෙස සලකන බව මාලදිවයින ජනාධිපතිවරයා නවදිල්ලි නුවර දී කියා සිටියේ ය.

රාජ්‍ය තාන්ත්‍රික හැරවුම් ලක්ෂයක් ලෙස ඉන්දීය මාධ්‍ය මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ඉන්දීය සංචාරය හදුන්වා දී තිබේ.

2023 නොවැම්බර් මාසයේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මාලදිවයින ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.

නවදිල්ලි නුවර රාෂ්ට්‍රපතිභවන් පරිශ්‍රයේ දී රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ඉහළම පිළිගැනීම මාලදිවයින් ජනාධිතිවරයාට ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන තිබුණේය.

මෙහිදී මාලදිවයින ජනාධිතිවරයා, ජනාධිපති ද්‍රව්පදි මුර්මු සහ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් උණුසුම් අයුරින් පිළිගත්තේ ය.


ජනාධිපති මොහොමඩ් මුයිසු සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර අද (07) පස්වරුවේ තීරණාත්මක සාකච්ඡාව පැවැත්විය.

දෙපාර්ශ්වයේම ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

එහිදී බරපතළ ආර්ථික අර්බුදයකින් පීඩා විඳින මාලදිවයිනට අමෙරිකානු ඩොලර් මිලියන 360 ක සහය ලබාදීමටත් තවත් ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දීමටත් ඉන්දියාව එකඟතාව පළකර තිබේ.

ඊට අදාළ ගිවිසුම් 4කට ද අත්සන් තබන ලදී.

මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් ජනාධිපති අචාර්ය මොහොමඩ් මුයිසු මහතා

..මාලදිවයින මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් සහ තවත් ඉන්දීය රුපියල් බිලියන 30ක සහයෝගය ලබාදීමට ගත් තීරණය පිළිබඳව මා ඉන්දීය රජයට මගේ ස්තුතිය පිරිනමනවා..

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා..

..අපගේ සබඳතා සැලකීමේ දී සංවර්ධන හවුල්කාරීත්වය අතිශය වැදගත් සාධකයක්. මාලදිවයින් ජනතාවගේ අවශ්‍යවලට මූලිකත්වය දෙන්න අපි කැමතියි. ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා ඩොලර් මිලියන 100 ක් මේ අවුරුද්දෙත් ඉස්සරහට අරන් යයි. ඊට අමතරව ඩොලර් මිලියන 400ක ස්වොප් පහසුකමත් තවත් රුපියල් කෝටි තුන්දාහකුත් ලබා දෙන්නත් අදාළ ගිවිසුම් අත්සන් කළා. දින කිහිපයකට කලින් රූපේ කාඩ් අපි මාලදිවයිනට හඳුන්වලා දුන්නා. දැන් කාලය ඇවිත් තියෙනවා ඉන්දියාව හා මාලදිවයින යූපීඅයි සමග සම්බන්ධ කරන්න..