IMF නියෝජිතයින් සහ අගමැති අතර හමුවක්

IMF නියෝජිතයින් සහ අගමැති අතර සාකච්ඡාවක්..

by Staff writer 05-10-2024 | 3:58 PM

COLOMBO (News 1st) - දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.

ඒ, ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සහයෝගීතාව තවදුරටත් පවත්වා ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය.

මේ අතර ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපතිවරයා හා අග්‍රාමාත්‍යවරිය අතර සාකච්ඡාවක් ද පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනයට ස්වීඩනයේ අවධානය යොමුව ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ, පාසල් සිසුන් අතර පෝෂණ අභියෝග ජය ගැනීම සඳහා සහය දෙන ලෙසයි.

ස්වීඩනයේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එරට සිටින සිසුන්ගේ වීසා ගැටලු විසඳීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව ද ස්වීඩින තානාපතිවරයා එම සාකච්ඡාවේදී පවසා ඇත.