ජනපති රාමඤ්ඤ සහ අමරපුර සංඝ මූලස්ථානවලට යයි

ජනපති රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානවලට යයි

by Staff writer 05-10-2024 | 5:46 PM

COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයාට මහ සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අනුනායක හිමිවරුන්, ලේඛකාධිකාරි හිමිවරුන් ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි බවයි.

අනතුරුව ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්‍රමුඛ සංඝරත්නය සමග වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ කෙටි පිළිසඳරක නිරතවී තිබේ.

තානාපතිවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත්, විදෙස් රටක මෙරට නියෝජනයට ගැලපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරන්නැයි, මහා සංඝරත්නය එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහගත පුද්ගලයන් පත් කරන ලෙස මහා සංඝරත්නය ඉල්ලා සිටි බවයි.

අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කිරීමේදී ද ඊට ගැලපෙන පිරිස් පත් කළ යුතු බව ද මහා සංඝරත්නය පෙන්වාදී තිබේ.

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට සියලු තීන්දු තීරණ ගැනීම තම අරමුණ බව පවසා ඇති ජනාධිපතිවරයා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඊට අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපේක්ෂා කරන බව ද පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම කෙරෙහි රටේ ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරමින් ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය ජනාධිපතිවරයා වෙත හිමි වන බව   අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ එහිදී පවසා තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

ඒ, උන්වහන්සේ බැහැ දැකීමට වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීයි.

රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බව අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ එහිදී පෙන්වාදී තිබේ.