Porsche එකෙන් ගිය ජනාධිපති උපදේශක රෝසි..

Porsche එකෙන් ගිය, ජනාධිපති උපදේශක රෝසි: ගාලුමුවදොර වාහනවල අයිතිකාරයෝ ගැන නම් ලැයිස්තුවක් එළියට

by Staff writer 30-09-2024 | 7:49 PM

COLOMBO ( News 1st ) - හිටපු ජනාධිපතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදී තිබූ වාහන 107 ක් පසුගිය දින කිහිපය තුළ කළ දැනුම්දීම් අනුව ජනාධිපති කාර්යාලයට ආපසු භාරදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය අද (30) නිවේදනය කළේ ය.

වාහන සහ ඒවා භාවිත කළ හිටපු ජනාධිපතිවර‍යාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ ද විස්තර ඇතුළත් වාර්තාවක් ද සමග ජනාධිපති මාධ්‍ය අංශය මේ නිවේදනය නිකුත් කර තිබුණේ ය.

එම වාර්තාවට අනුව හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරියකට අධි සුඛෝපභෝගී පෝෂර් කයෑන් එස් වර්ගයේ රථයක් ද ලබාදී තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක ලෙස පත්කර සිටි හිටපු කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියට මෙම පෝෂර් කයෑන් එස් වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථය ලබාදී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය ⁣වේ.

කෙසේ වෙතත් රෝසි සේනනායක මහත්මියට ලබාදී තිබූ රථය පිළිබඳව වැඩිදුර තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර නොමැත.

2012 වසරේ නිෂ්පාදනය කළ මේ වර්ගයේ මෝටර් රථයක් මෙරට වෙළෙඳපොළේ අලෙවි වන මිල දල වශයෙන් රුපියල් ලක්ෂ දෙසිය දහය ඉක්මවයි.

2022 වසරේ නිෂ්පාදනය කළ මේ වර්ගයේ මෝටර් රථයක් මෙරට වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 320 කට අධිකයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියෙන් ලැබී ඇති බලතල අනුව හිටපු ජනාධිපතිවරයා වාහන 107 ක් සිය පෞද්ගලික කාර්යය මණ්ඩලයට ලබා දී තිබේ.

ජනාධිපතිවරයාට සහය වීම සඳහා ඔහුගේ මතය අනුව ලේකම්වරුන් පත් කිරීමට ව්‍යවස්ථාවේ එම වගන්තියෙන් බලය ලැබෙන අතර අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා වෙනත් නිලධරයන් හා කාර්යය මණ්ඩලය පත්කළ හැකියි.

කෙසේවෙතත් ආණඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවීම සිදුවන්නේ රටේ ජනතාවගේ මුදල්වලින් පවත්වාගෙන යන ඒකාබද්ධ අරමුදලෙන් ය.

ජනාධිපති කාර්යාලය අද නිකුත් කළ වාර්තාවට අනුව හිටපු ජනාධිපතිවරයා ලේකම්වරුන් 5 දෙනෙකුට සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට මේ පදනමින් සුඛෝපභෝගී වාහන ලබා දී තිබේ.

ටොයොටා වී එයිට් වර්ගයේ ජීප් රථයක් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට ලබා දී තිබුණි.

ජ්‍යෙෂ්ඨ උපදේශකයින් ලෙස පත්කර සිටි අකිල විරාජ් කාරියවසම්, ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, සුනන්ද මද්දුමබණ්ඩාර සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන්ට ද ලබාදී තිබූ සුඛෝපභෝගී මෝටර් රථ ජනාධිපති කාර්යාලයට ආපසු භාරදී තිබේ.

මීට අමතරව තවත් උපදේශකයින් 8 දෙනෙකුට හිටපු ජනාධිපතිවරයා සුපිරි වාහන ලබා දී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වේ.

හිටපු පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානි විජේසේකර, හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් වන ආචාර්ය සුරේන් බටගොඩ මෙන්ම ආර්. පාස්කරලිංගම් යන මහත්වරුන් ද ඒ අතරට ඇතුළත් ය.

නිසාන් පෙට්‍රෝල් වර්ගයේ ජීප් රථයක් ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස පත්කර සිටි හිටපු ඇමති පී.හැරිසන් මහතාට ලබාදී තිබුණේ ය.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයට පත්කර සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් 8 දෙනෙකුට ලබාදී තිබූ සුපිරි මෝටර් රථ 8ක් ද ආපසු භාරදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කළහ.

හිටපු ජනාධිපතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පත්කර සිටි අධ්‍යක්ෂවරුන් 26 දෙනෙකුට ද සුපිරි මෝටර් රථ ලබා දී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වේ.

වාහන ආපසු භාරදී තිබූ හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ගණන 10කි.

සෙන්දිල් තොණ්ඩමන් ආණ්ඩුකාරවරයාට ද හිටපු ජනාධිපතිවරයා පරිහරණය සඳහා ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි ෆෝ වර්ගයේ ජීප් රථයක් ලබා දී තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස ප්‍රතිලාභ ලබා වාහන පරිහරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 38 කි.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියට බෙන්ස් එස් ත්‍රී හන්ඩ්‍රඩ් වර්ගයේ සුපිරි මෝටර් රථයක් ලබා දී තිබූ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ටොයොටා ලෑන්ඩ් කෘෘසර් ප්‍රාඩෝ රථයක් ලබාදී තිබුණි.

පොදුජන පෙරමුණේ රංජිත් බණ්ඩාර සහ ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන්ට ද ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය යටතේ වාහන ලබාදී ඇත.

මීට අමතරව විමලවීර දිසානායක, මිලාන් ජයතිලක, නිමල් පියතිස්ස, උදයන කිරිදිගොඩ, ජගත් ප්‍රියන්කර,කෝකිලා ගුණවර්ධන, මංජුලා දිසානායක, එම්.රාමේෂ්වරන්, සුදත් මංජුල, රාජිකා වික්‍රමසිංහ, චින්තක මායාදුන්නේ, පියංකර ජයරත්න,  ගුණතිලක රාජපක්ෂ හා ඩග්ලස් දේවානන්දා යන පිරිස ද වාහන ප්‍රතිලාභ ලැබු මන්ත්‍රී ලැයිස්තුවට ඇතුළත් ය.

අධිකරණ නියෝගයෙන් මන්ත්‍රී ධුරය අහිමි වූ ඩයනා ගමගේ මහත්මියට ද හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය යටතේ වී එයිට් වර්ගයේ සුඛෝපභෝගී රථයක් ලබාදී තිබේ.

ප්‍රදීප් උඳුගොඩ, එස්.එම් චන්ද්‍රසේන, මධුර විතානගේ, එස්.එම්.එම්. මුෂාරෆ්, සුදර්ශන දෙනිපිටිය, සම්පත් අතුකෝරල, වීරසේන ගමගේ, මුදිතා ප්‍රශාන්ති ද සොයිසා, උදය ශාන්ත ගුණසේකර ,එස්.බී. දිසානායක, අසංක නවරත්න, ගයාෂාන් නවනන්ද , උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, කපිල අතුකෝරල, විජිත බේරුගොඩ, ජයන්ත කැටගොඩ, අජිත් රාජපක්ෂ, එස්.සී මුතුකුමාරණ සහ සහන් ප්‍රදීප් විතාන වාහන භාවිත කළ සෙසු මන්ත්‍රීවරුන් වේ.

මෙම වාහන ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කිරීමට සිදුව ඇත්තේ පරිශ්‍රය තුළ ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් සිදුකළ ක්‍රියාවක් නොවන බව ද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් උපදෙස් අනුව මෙම වාහන අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට ජනාධිපති කාර්යාලය මේ වනවිට කටයුතු යොදා තිබේ.

මෙම වාහන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය එවූ සම්පූර්ණ නිවේදනය මෙසේය.