සජිත් - රනිල් හවුලට කුමක් වෙයිද?

by Staff writer 30-09-2024 | 10:59 AM

COLOMBO (News 1st): සජිත් - රනිල් දේශපාලන කුහකත්වය හේතුවෙන් පක්ෂ දෙකම විනාශ වූ බව අම්පාර දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන් චෝදනා කළේය.

සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පළාත් පාලන නියෝජිතයින්, ප්‍රබල පක්ෂ සාමාජිකයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරින් ඊයේ අම්පාරේදී රැස්විය.

සමගි ජන බලවේගයේ ගෝනගල කොට්ඨාස සංවිධායක ආර්.එම්. ඥාණවර්ධන මහතා

"ලංකාවේ තිබ්බ ප්‍රධාන පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. ඒක යම්කිසි හේතුවක් සඳහා බෙදුණා. බෙදිලා පහුගිය කාලෙක විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ දෙන්නට කරන්න බැරි දෙයක් තිබුණද? මේ රට දිනාගන්න ක්‍රමවේදය තිබ්බා. නමුත් මේ දෙන්නගේ තියෙන දේශපාලන කුහකකම හින්දා මේක නැත්තට නැති‍ වුණා. නායකයෝ දෙන්නා දැනගන්න ඕනි නායකත්වයේ තියන ගුණාංග මොනවද කියලා. මේ දෙන්නගෙ ඒ ගුණාංග නැත්තට නැති කරලා දැම්මා. හැමදාම පරාදයි කියන මේ හදවත් වලට  කොයිතරම් වේදනාවක් ඇත්ද අපි ඇත්තටම පරාජය කළේ ඔය නායකයෝ"

එක්සත් ජාතික පක්ෂයේ රුහුණුගම කොට්ඨාස සංවිධායක කේ.ඒ. ජිනදාස මහතා

"නායකත්වයට පොර අල්ලන මිනිස්සුන් දෙපැත්තට බෙදිලා නායකත්වය වෙනුවෙන් පොර ඇල්ලුවට අපට වුවමනාවක් තියෙනවා අපි එකට ආපු පක්ෂයක් මේ දෙකට කැඩිලා ගියොත් අපි හැමදාම අනාථයි"

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික උපුල් ශාන්ත මහතා

"රනිල් මහත්තයා පැරදුනා කියලා අපි දැක්කා. දැක දැක අපි පාක්ෂිකයෝ නිසා මේ වෙලාවේ අපි උදව් කෙරුවා. මේ හැමදෙනාම කිව්වා වගේ ආයේ නම් ඒ ගොම් වැඩ කරන්නෙ නෑ. ඒ හරක් නෑ. ඒ හරක් ඔක්කොම අක්කරපත්තුවේ මුත්තු කණ්ඩුට වික්කා"

මේ අතර එක්සත් ජාතික පක්ෂ ඇල්පිටිය ක්‍රියාකාරී හමුවක් ද ඊයේ පැවැත්විය.

ප්‍රශ්නය - තව දින කිහිපයයි තියෙන්නෙ නාමයෝජනා භාරදෙන්න. ඔබතුමාලගේ සංධානගත වීම කොහොමද මේ දවස්වල සාකච්ඡා සාර්ථකද?

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා

"දැනට ඒ ගැනීම පියවරවල් ගණනාවක් තියලා තියෙනවා. සඳුදාගෙන් පස්සේ අපි අවසාන නිවේදනයක් නිකුත් කරන්න කරයු පක්ශයේ ප්‍රධාන නායකයින් එකතුවෙලා"

ප්‍රශ්නය - පොහොට්ටුවෙන් පැමිණි කණ්ඩායම ඔබතුමාලත් සමග එකට තරග වැදීමට නියමිතයිද?

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා

"සියලු දෙනා එකට තරඟ කරන්න තමයි සියලු සාකච්ඡා අවසන් වෙමින් තියෙන්නේ"

ප්‍රශ්නය - විපක්ෂ නායකවරයා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කොන්දේසි පනවනවා කියලා ආරංචි වෙනවා. මේ ගැන මොකද කියන්න තියෙන්නේ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා

"කොන්දේසි මේ වෙලාවේ අදාල වෙන්නෙ නෑ. මේ වෙලාවේ අදාළ වෙන්නේ රටේ විපක්ෂය විදියට ගන්න තන්දු තීරණ. එතනදි තමන්ගේ පුද්ගලික අභිලාෂයන් තමන්ගේ පුද්ගලික ගමන් ගැන නොහිත පොදුවේ එකතුවෙන්න පුළුවන් තැනකට එකතු වෙනවා නම් ඒක තමයි මේ වෙලාවේ වටින්නේ"

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා ඊයේ(29) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා

"පක්ෂයේ සාම්ප්‍රදාය තමයි ජනාධිපති ධූරයට පත්වෙච්ච කෙනෙක් නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉල්ලන්නේ නෑ. ඉතින් මේ නායකයා සූදානම් නෑ ඒ සම්ප්‍රදායන් කඩලා වැඩ කරන්න. හැබැයි එහෙම වුණා කියලා පක්ෂයේ නායකයා ඔහු පක්ශයට නායකත්වය දෙන එක අබ මල් රේණුවකින්වත් වෙනස් වෙන්නෙ නෑ. හැබැයි ඒ වගේම රටට යම් මොහොතක  නායකත්වයක් වුවමනා වුණාම ඒ නායකත්වය දෙන්නා පෙර පරිදිම රනිල් වික්‍රමසිංහයන් සූදානම් කියන කාරණයත් අපි මේ මොහොතේ ඉතා පැහැදිලිවම කියනවා. ඇත්තටම සමගි ජන බලවේගයත් එක්ක සාකච්ඡා වට තුනක් විතර පැවැත්තුවා. තවදුරටත් සාකච්ඡා විවෘතයි. සාකච්ඡා  වලට ඉඩකඩ තියෙනවා ඒ වගේම  විවිධ කණ්ඩායම් මැදිහත් වෙමින් සාකච්ඡාවලට සම්බන්ධ වෙලා තියෙනව. ඉතින් ඒ නිසා ඒ සාකච්ඡා පිළිබඳව අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. පක්ෂ වලට අනන්‍ය වූ සැලකුණු වලින් අපි ඉදිරිපත් වෙන්නේ නැහැ මේ මත වෙනකොට අපි ඒකට කැමති නමුත් අපි ඉදිරිපත් වෙන්නේ නෑ. පොදු තත්ත්වය ආරක්ෂා කරගන්න. ඒක නිසා පොදු සලකුණක් අනිවාර්‍යෙන්ම සඳුදා හවස් වෙනකොට ඉදිරිපත් වෙයි ඒකෙන් තමයි අපි එන්නෙ."

ප්‍රශ්නය - විපක්ෂ නායකතුමාට අගමැතිකම දෙන්න ඔබතුමාලා කැමතිද?

එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා

"අපි අගමැති ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයට දෙන්න එකගයි. ඒ පිළිබද ගැටළුවක් නෑ"

තවදුරටත් සමගි ජන බලවේගයට සහය දෙමින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට දමිල ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර තිබේ.

දමිල ප්‍රගතිශීලී සන්ධානයේ දේශපාලන මණ්ඩලය අද කොළඹ දී රැස් වී මෙම තීරණය ගෙන තිබුණා.

දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා

අපි හැමදාම ඉන්න අපි  හිටිය ඉන්න මේ සමගි  ජන සන්ධානය තුළ අපි සටන් කරන්න අපි තීරණය කරලා තියෙනවා. බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර ඒ වගේම සබරගමු පළාතේ රත්නපුර කෑගල්ල මධ්‍යම පළාතේ මහනුවර ඒ වගේ අපි ජනතාවගේ පදනම් වෙලා තියෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඒ වගේ  ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය වල සටන් කරන්ඩ අපි තීරණය කරලා තියනවා. කවුරු ආණ්ඩු කරත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි මේ රටේ ජනාධිපති වෙන්නෙ නෑනේ. අගමැති වෙන්නෙ නෑනේ. ඒ නිසා වැඩියෙන්ම අඩු දෙමළ  ජනතාව නිසා අපේ හඬන් ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමින් අනිවාර්යෙන්ම පවතින්න ඕනි. සහෝදරවරුන්ට කියන්න කැමතියි අපි ප්‍රගතිශීලී කණ්ඩායමක්. කඳුකරේ ඉන්න පසුගාමී කණ්ඩායම් සමඟ අපි එකතු කරන්න එපා. ඒ ගොඩේ දාන්න එපා