ශිෂ්‍යත්ව අවුලට ළමුන්ගේ දෙමව්පියන් ඉසුරුපාය වටලයි.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අවුලට ළමුන්ගේ දෙමව්පියන් ඉසුරුපාය වටලයි..

by Staff writer 30-09-2024 | 2:30 PM

COLOMBO (News1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුවට නිසි විසඳුමක් දෙන්නැයි ඉල්ලා දෙමව්පියන් ප්‍රදේශ කිහිපයක දී විරෝධතාවල නිරත වේ.

ඉන්, ප්‍රධාන විරෝධතාව පැවැත්වෙන්නේ, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව කඩිනමින් විසඳන ලෙසයි.

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූවා යැයි කියන පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනට සියලු සිසුන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේ ය.

ඒ, අදාළ ගැටලුව පිළිබඳ සෙවීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ මතයි.

අද(30) දෙමව්පියන් විරෝධතාවල නිරත වන්නේ, එම තීරණයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් ය.

අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගෙන් විමසීමක් සිදු කළේ ය.

ඇය සඳහන් කළේ, විරෝධතාවයේ නිරත දෙමව්පියන්ගෙන් කිහිපදෙනෙකුට සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන බවයි.

එහිදී තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාවරය දැනුම්දීමට නියමිත බව ද, ලේකම්වරිය සඳහන් කළා ය.

මේ අතර එම ගැටලුව පදනම් කරගනිමින් ඇල්පිටිය කලාප අධ්‍යාපනන කාර්යාලය ඉදිරිපිටදී ද, අද(30) පෙරවරුවේ තවත් විරෝධතාවක් පැවැත්වි ය.