මෙරට ධීවර යාත්‍රාවක් මහ මුහුදේදි අනතුරට..

මෙරට ධීවරයින් 5 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදි අනතුරට..

by Staff writer 30-09-2024 | 8:24 AM

COLOMBO (News1st) - මෙරට ධීවරයින් 5 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදි අනතුරට පත්ව තිබේ.

පසුගිය 26  වැනිදා එලෙස අනතුරට පත්ව ඇත්තේ, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය - රන්මුතු දුව 10 - නැමැති ධීවර යාත්‍රාවයි.

ඔවුන් පසුගිය 12 වැනිදා ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් තිබුණි.

එම ධීවරයින් යාත්‍රාවේ හිමිකරුට දන්වා ඇත්තේ, අනතුරට ලක්වූ යාත්‍රාව මේ වන විට ඉන්දියාව දෙසට පාවෙමින් පවතින බවයි.

අනතුරට ලක්ව ඇති ධීවර යාත්‍රාවට සහාය වීම සඳහා වෙනත් යාත්‍රාවක් ද මේ වනවිට එම මුහුදු ප්‍රදේශයට පිටත් කර යවා තිබේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය දැනුවත් කළ බව, ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.