තැපැල් ඡන්ද අයැදුම්පත් මුද්‍රණය කර අවසන්

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයැදුම්පත් මුද්‍රණය කර අවසන් - රජයේ මුද්‍රණාලය

by Staff writer 30-09-2024 | 4:59 PM

COLOMBO ( News 1st ) - මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් මුද්‍රණය සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි.

තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 10ක් මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව , තැපැල් ඡන්ද අයැදුම්පත්වලින් කොටසක්, ‍ඊයේ (29) මැතිවරණ කොමිසමට භාර දී තිබේ.

ඉතිරි කොටස, අද කොමිසමට භාරදීමට නියමිත ය.

2024 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත්‍ භාර ගැනීම හෙටින් (01) ආරම්භ වේ.

එය අවසන් වන්නේ, ලබන 8 වැනිදායි.

මේ අතර මහ මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදාට සතියකට පෙර සියලු මුද්‍රණ කටයුතු අවසන් කරන බව ද මුද්‍රණාලායාධිපතිනිය පැවසුවා ය.

නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකා, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඇතුලු සෙසු මුද්‍රණ කටයුතු ආරම්භ කරනු ලබයි.

මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් 4 වැනිදා සිට 11 වැනිදා දහවල් 12 දක්වා සිදු වේ.

අභිනව පාර්ලිමේන්තුව, නොවැම්බර් 21 වැනිදා රැස්වීමට නියමිතය.