දිවිගමනට සමුදුන් සොදුරු කලාකරුවා

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි!

by Staff writer 22-09-2024 | 8:03 PM

COLOMBO (News 1st) - වම් ඉවුරේ සිනමාවේ පිබිදීම වෙනුවෙන් ඇප කැප වූ, ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (22) උදෑසන ඔහු අභාවප්‍රාප්ත වන විට වයස, අවුරුදු 77 ක්.

1947 මැයි පළමු වැනිදා ගාල්ල හිරිඹුරේදී උපන් ඔහු, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

සරසවි බිමේදී සුගතපාල ද සිල්වා සමඟ එක්ව වේදිකාවට පා තැබූ ඔහු, හරිම බඩු හයක් නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය.

දිවි ගමනේ සිව්වැනි දශකයේදී පමණ වේදිකාවේ ප්‍රධාන චරිත නිරූපණයට වරම් ලැබූ ඔහු රංගන දායකත්වය ලබාදුන්, දොළහක්, ධවල භීෂණ, මකරාක්ෂයා සහ හඬ නිහඬ යන වේදිකා නාට්‍ය අදටත් ජනප්‍රසාදිතයි.

අදිසි නදිය, අකාල සන්ධ්‍යා, අරුංගල්, දඬුබස්නාමානය, බිම් කළුවර, කූඹියෝ ඇතුලු ටෙලි නිර්මාණ සිය ගණනක් ඉදිරියේ, ඔහු සිය නාමය සනිටුහන් කළේ, තමාටම අනන්‍ය වූ රංග විලාසයක් ප්‍රකට කරමිනි.

වම් ඉවුරේ සිනමාව තුළ විශිෂ්ඨ රංග භූමිකාවක් නිරූපණය කළ ඔහු, බඔරු ඇවිත්, අහස් ගව්ව, පාර දිගේ, හංස විලක්, සෙයිලම, භව දුක, භව කර්ම, සොල්දාදු උන්නැහේ, මී හරකා, විසි දැල ඇතුලු සිනමා පට විශාල ප්‍රමාණයක් හරහා නිරූපණය කළ ප්‍රතිභාව, හෙළ සිනමා ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරින්.

ධර්මසේන පතිරාජයන්ගේ බඹරු ඇවිත් සිනමා පටය වෙනුවෙන් ඔහු රචනා කළ, උදුම්බරා හිනැහෙනවා සහ ආදරයේ ඔබ ඔබ මැයි යන ගීත, හෙළ සිනමා ගීතාවලියේ අද්විතීය නිර්මාණ ලෙස, විචාරක පැසසුමට ලක්විය.

රංගන ශිල්පියාගේ භූමිකාවෙන් ඔබ්බට ගොස්, සහය අධ්‍යක්ෂවරයෙකු, ගී පද රචකයෙකු, ලේඛකයෙකු සහ විචාරකයෙකු ලෙසින් ඔහු තැබූ සටහන් මෙරට ජන හදවත් තුළින් කිසිදා මැකී නොයනු ඇති.