ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට ප්‍රතිපතිමය එකඟතාවක්

by Staff writer 19-09-2024 | 8:32 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් අමෙරිකානු ඩොලර් බිලියන 12‍.5 ක ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණි බව ලන්ඩන් කොටස් වෙළෙඳපොළ  අද (19) පස්වරුවේ නිවේදනය කළේ ය.

ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී ස්වෛරී  බැඳුම්කර මගින් ලබාගත් ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටවූ අතර අනතුරුව එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ඡා ආරම්භ කළේ ය.

ක්ලිෆර්ඩ් චාන්ස් සහ ලසාර්ඩ් යන උපදේශන සමාගම් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාකච්ඡාවලට මැදිහත්වූ අතර බැඳුම්කර හිමියන් වෙනුවෙන් ඊට මැදිහත්වූයේ වයිට් ඇන්ඩ් කේස් සහ රොස්චයිල්ඩ් යන සමාගම් වේ.

ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡා වටයක් ඊයේ (18) පැවති අතර ප්‍රතිපත්තිමය එකඟතාවට එළැඹ ඇත්තේ එම සාකච්ඡා වටයෙන් පසුවයි.

මෙම ප්‍රතිපත්තිමය එකඟතාවට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයද අද උදෑසන අනුමැතිය ලබාදී ඇතැයි, ලන්ඩන් කොටස් වෙළෙඳපොළ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාව පිළිබඳව ද්වීපාර්ශ්වික ණය හිමිකරුවන් ඇතුළත් නිල ණය හිමි කමිටුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කළ යුතුයි.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩ සටහනේ මූලික රාමුවට මෙම තීරණ ඇතුළත්දැයි සලකා බැලෙනු ඇති.

නිල ණය හිමි කමිටුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පලකිරීමෙන් පසුව යෝජිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනය කළේ, ද්වීපාර්ශ්වින ණය හිමියන්ගේ නිල කමිටුව, ස්වෛරී බැඳුම්කර හිමිකරුවන්, චීන එක්සිම් හා සංවර්ධන බැංකු සමග ඇතිකරගත් ප්‍රතිපත්ති එකඟතා අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17 ක ණය සහනයක් ලැබෙන බවයි.