ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව: කණ්ඩායමක් අලව්වට

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සෙවීමට විමර්ශන කණ්ඩායමක් අද අලව්වට - විභාග දෙපාර්තමේන්තුව

by Staff writer 18-09-2024 | 8:00 AM

COLOMBO ( News 1st) - 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් අද (18) දිනයේ අලව්ව ප්‍රදේශයට පිටත්ව යන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, එම කණ්ඩායම අදාළ සිද්ධියට සම්බන්ධ බව කියන ගුරුවරයා ඇතුළු පාර්ශ්වවලින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි.

එහිදී හෙළිවන කරුණු අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ, පාලක පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අදාළ සිද්ධියෙන් විභාගයට පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බවයි.

මේ අතර පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට ආරම්භයට ටික වේලාවකට පෙර සමාජ මාධ්‍ය වෙත මුදා හැරී බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ද විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ප්‍රශ්න පත්‍රය සාමාජ මාධ්‍යයට මුදා හැරි බව කියන විභාග නිරීක්ෂකයා ඇතුළු 6 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, විභාග මධ්‍යස්ථාන 2849කදී පසුගිය දා පැවැත්වුණි.