ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් සටන අද ඇරඹේ..

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් සටන අද ඇරඹේ: 21 වැනිදා විවේකී දිනයක්..

by Staff writer 18-09-2024 | 8:55 AM

COLOMBO ( News 1st) - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ  වේ.

තරගය අද උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වේ .

ඊට තරග දෙකක් ඇතුළත්.

2019 වසරින් අනතුරුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි.

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක හමු වූ තරගයද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පවත්වා ඇති අතර, එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 6කින් ජය ගත්තේ ය.

මෙම තරගාවලිය සඳහා ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති නමුත්, ඔහු අද තරගය සඳහා නම් කළ කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදුකර ඇති අතර, අංක තුන පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල් පිටියට පිවිසීමට නියමිතයි.

කුසල් මෙන්ඩිස් අංක 7 පිතිකරු ලෙස තරග කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් විය

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට ටෙස්ට් කඩුලු 100 සීමාවට ළඟා වීමට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 4ක් පමණයි.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග 38න් තරග 9ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, තරග 18ක් ජය ගෙන තිබෙන්නේ නවසීලන්තයයි.

අනෙක් තරග 11 ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ.

අද ආරම්භ වන පළමු තරගය ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ලබන 21 වැනි සෙනසුරාදා ජනාධිපතිවරණය හේතුවෙන්, විවේක දිනයක් ලෙස නම් කර තිබේ.