දේශබන්දුට වෙනුවෙන් දැමූ පෙත්සම ප්‍රතික්ෂේපයි

දේශබන්දුට එරෙහි අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

by Staff writer 18-09-2024 | 6:58 PM

COLOMBO ( News 1st ) - දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස හා එම පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත් වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේ ය.

ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන, කොල්ලුපිටියේ රාහුල, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමිවරුන් විසින් පෙත්සම ගොනු කළහ.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී පෙත්සම අද කැඳවනු ලැබුවේ ය.

මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් කිහිපයක්  සලකා බැලීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම්  නියෝගයක් ඉකුත් ජූලි 24 වැනිදා නිකුත් කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය හේතුවෙන් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු මෙහෙයවීමට මැතිවරණ කොමිසම විසින්  පොලිස්පතිවරයාට නියෝග ලබාදීමට හැකියාව නොමැති හෙයින්  දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් නිකුත් කර ඇති අතුරු නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබුණි.