මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්... නීති කඩකරන්නන්ට දැඩි පියවර, මැතිවරණ කොමිසම සීරුවෙන්...

by Staff writer 18-09-2024 | 7:48 AM

COLOMBO ( News 1st) - ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනු ඇත.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද මැදියම් රැයේ සිට ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 21 වැනි දා තෙක් නිහඬ කාලයක් ලෙස සලකන බවයි.

ඒ අනුව එම කාලය තුළ නීති විරෝධීව මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නොයෙදෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරල් සමන් ශ්‍රී රත්නායක මහතා සියලු අපේක්ෂකයින්ට හා ජනතාවට දැනුම් දෙයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

මේ අතර ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් ඇතුළු අපේක්ෂකයින් අද දිනයේ අවසන් ජන රැළි දිවයිනේ ස්ථාන ගණනාවකදී සංවිධාන කර තිබේ.

ස්වාධීන ජනාධීපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා මාතර, ගාල්ල, හෝමාගම හා කළුතරදී ජන රැළිවලට සහභාගි වන අතර අවසන් ජන රැළිය පැවැත්වෙන්නේ ග්‍රෑන්ඩ්පාස් හිදීයී.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මොණරාගල, ඇඹිලිපිටිය, අම්බලන්තොට හා බේරුවලදී ජන රැළිවලට සහභාගි වන අතර ඔහුගේ අවසන් ජන රැළිය මරදානේදී පැවැත්වෙනු ඇති.

ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැළි අද පැවැත්වෙන්නේ, බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමිනි.

ඒ අනුව කළුතර හා ගම්පහදී ජන රැළි පැවැත්වෙන අතර අවසන් ජන රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජන රැළි තිස්සමහාරාමය හා මතුගම  ප්‍රදේශවලදී පැවැත්වෙන අතර අවසන් ජන රැළිය පිළියන්දලදී සංවිධාන කර තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ජන රැළි පන්නල හා මීගමුව ප්‍රදේශවලදී පැවැත්වෙන අතර අවසන් ජන රැළිය සංවිධාන කර ඇත්තේ කිරුලපන ප්‍රදේශයේදීයී.