අමෙරිකාව පළමුව තම රටට ඇති සතුරුකම් අවසන් කළ යුතුයි

ඉරානය සමග සාකච්ඡා පැවැත්වීමට පෙර, අමෙරිකාව සිය රට කෙරෙහි ඇති සතුරුකම් අවසන් කළ යුතුයි - ඉරාන ජනපති

by Staff writer 17-09-2024 | 8:14 AM

COLOMBO (News 1st) - ඉරානය සමග සෘජු සාකච්ඡා පැවැත්වීමට පෙර අමෙරිකාව මුලින්ම, තම රට කෙරෙහි ඇති සතුරුකම් අවසන් කළ යුතු බව ඉරාන ජනාධිපති මසුඩ් පෙසේෂ්-කියන් පවසයි.

පසුගිය ජූලි මාසයේදී ඔහු ජනපති ලෙස පත්වීමෙන් පසු පැවැත්වූණු පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

අමෙරිකාව සහ බටහිර රටවල් පසුගිය දා ඉරානයට නව සම්බාධක පැනවිය.

ඒ, යුක්රේනයට එරෙහි යුද්ධය වෙනුවෙන්, ඉරානය, රුසියාවට ආයුධ සපයා ඇති බවට චෝදනා කරමිනි.

නමුත් ඉරාන ජනාධිපතිවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, සම්බාධක පැනවීමට හේතුවක් විය හැකි කිසිදු අයුධයක් ඉරානය, රුසියාවට ලබා දී නොමැති බවයි.

ඊශ්‍රායල - ගාසා ගැටුම් ව්‍යාප්ත වීමට ද ඉරානයේ ක්‍රියාකාරීත්වය බලපා ඇතැයි බටහිර රටවල් පැවසීය.

ඒ, හමාස් සංවිධානයට ඉරානයේ සහයෝගය ලැබෙන බවට චෝදනා කරමිනි.

ජූලි මාසයේදී ඉරාන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීමට පැමිණි හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වුණේ, මෙම චෝදනා මධ්‍යයේයි.

හිටපු ජනපති ඊබ්‍රහිම් රයිසි මැයි 19 වැනි දා හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමෙන් පසු, මසුඩ් පෙසේෂ් කියන් නව ජනාධිපතිවරයා තේරී පත්විය.