මිලාද් උන් නබි උත්සවය අදයි

ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදයි

by Staff writer 16-09-2024 | 6:12 AM

COLOMBO (News 1st) - ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද (16) නබි නායකතුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය සමරනු ඇත.

ක්‍රිස්තු වර්ෂ 571 දී නබි නායකතුමාගේ උපත සිදු වූයේ සෞදි අරාබියේ මක්කම නගරයේදීයි.

තරුණ වියේදී එඩේර ජීවිතයක් ගත කළත්, පසුව ව්‍යාපාරිකයෙකු ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කළ නබිතුමන් කෙමෙන් කෙමෙන්, සෙස්සන් අතර විශ්වාසය ගොඩනගාගත් අතර අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් පසුව ප්‍රචලිත විය.

ඉස්ලාම් දහම ලොව පුරා ව්‍යාප්ත කළ එතුමන්ට අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම් ලැබුණේ 40 වැනි වියේදීයි.

අරාබිකරයේ ප්‍රජාව යහ මගට යොමු කළ එතුමන්, 23 වසරක් දේව මෙහෙවර ඉටු කළේ ය.

මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් අද මෙරට ප්‍රදේශ ගණනාවක විවිධ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර අවංක මිනිසුන් ඉදිරියේ දෙවියන් නිරාවරණය වන අතර එබඳු පුද්ගලයන් දෙවියන් විසින් සුදුසු, උස් ස්ථාන කරා ඔසවා තබන බව මුහම්මද් නබිතුමාගේ ජීවිතය සහ දර්ශනය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කර ගත හැකි යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදට යෙදී තිබෙන  මීලාදුන් – නබි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පැවසුවේ, නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරෙන මේ සමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමග අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදය පරාජය කොට සංවර්ධිත යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් අත්වැල් බැඳ ගනු ඇතැයි විශ්වාස කරන බවයි.

මේ අතර මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයක් දායාද කළ නබි නායකතුමාගේ මානුෂීය දර්ශනය අන් කවරදාටත් වඩා වත්මනේ සමාජ සුබ සිද්ධියට යොදා ගැනීම කාලෝචිත යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යරයා ඒ බව පැවසුවේ, මීලාදුන් – නබි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.