දුනිත් සහ හර්ෂිතාට ICC සම්මාන..

දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම ICC අගොස්තු මාසයේ ලොව හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලබයි..

by Staff writer 16-09-2024 | 7:58 PM

COLOMBO (News1st)-නිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම පසුගිය අගොස්තු මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේය.

සෑම මාසයකම ජාත්‍යන්තර තරග බිමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කරන දක්ෂතා ඇගයීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙලෙස සම්මාන ප්‍රදානය කිරිම සිදුකරනු ලැබේ.

පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයට නිර්දේශ වී සිටියේ ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ, දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ජේඩන් සීල්ස් ය.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති ක්‍රිකට් තරගාවලියේදී ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් 21 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තෝරාගෙන තිබේ.

එමෙන්ම ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය දිනා ගත්තේ හර්ෂිතා සමරවික්‍රමයි.

අයර්ලන්ත කාන්තා කන්ඩායමට එරෙහිව පැවැති ක්‍රිකට් තරගාවලියේ ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රමට මෙම සම්මානය ප්‍රදානය කර තිබේ.

ඇය සමග එම සම්මානයට අයර්ලන්තයේ ඕලා ප්‍රෙන්ඩගාස්ට් සහ ගැබී ලුවිස් නිර්දේශ වී සිටියේය.