නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 97%ක් බෙදා හැර අවසන්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක් කෝටි 66 ලක්ෂ 50,000 ක් බෙදා හැර අවසන්..

by Staff writer 15-09-2024 | 6:27 PM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක් කෝටි 66 ලක්ෂ 50,000 ක් බෙදා හැර අවසන් කර තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස 97% කි.

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පැවසුවේ ය.

මේ අතර වංචනිකව ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල, රුපියල් ලක්ෂ 2 ක් දක්වා වැඩිකර තිබේ.

එම චෝදනාවට වරදකරුවන් වන පුද්ගලයින්ට වසරකට නොවැඩි කාලයක සිර දඬුවමක් ද නියම කෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

2023 අංක 23 මැතිවරණ විශේෂ විධි විධාන පනත යටතේ අදාළ නීති, තර කර ඇත.

මීට පෙර වංචනිකව ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයෙකුට නියම කළ දඩ මුදල, රුපියල් 500 කි.