ඇප ලැබූ කෙහෙළිය ගෙදර යයි..

by Staff writer 12-09-2024 | 10:09 PM

COLOMBO (News 1st) - ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීමේ ගනුදෙනුවට අදාළව මාස 08ක් රක්ෂිත බන්ධනාගාරතව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (12)  මුදා හැරියේය.

ඒ, ඊයේ (11) මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ ඇප කොන්දේසි අනුවයි.

ඊයේ ඇප නියම කෙරුණත්, කෙහෙලිය රඹුක්වැල්ල මහතා GI පයිප්ප බට නඩුවට අදාළව අද මහාධිකරණය හමුවේ පෙනී සිටිමට නියමිතව තිබූ බැවින් රක්ෂිත බන්ධානාගාරයේම රඳවා තැබුවේය.

ඔහු මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවට අද ඉදිරිපත් කළේ, එම නඩුවට අදාළවයි.

මහාධිකරණයේ පවතින එම නඩුවට අදාළව ඇප ලබා දී ඇද්දැයි, එහිදී විනිසුරුවරයා මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් විමසීමට අවශ්‍ය බව කියා සිටියේ ය.

ඒ අනුව නඩු ⁣ගොනුව රෙජිස්ට්‍රාර්වරයාට යොමු කර ඇප ලබා දී ඇති බැවින් හිටපු ඇමතිවරයා මුදා හරින්නැයි නියෝග කළේ ය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සිය පවුලේ සාමාජිකයන් සමග අධිකරණයෙන් පිටව ගියේ අද  පස්වරුවේදීයී.