ගම්මැද්ද ගැන කථිකාවතක් ඔක්ස්වර්ඩ් සරසවියේදී

ගම්මැද්ද ක්‍රියාන්විතය පිළිබඳ කථිකාවතක් ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේදි..

by Staff writer 17-08-2024 | 3:52 PM

COLOMBO (News 1st) - වසර 1000ක් පමණ පැරණි ඉතිහාසයක් ඇති බ්‍රිතාන්‍යයේ ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලය මගින්  මෙම මස මුලදී සංවිධානය කළ 2024 ඔක්සවර්ඩ් සම්මන්ත්‍රණයේදී ගම්මැද්ද ක්‍රියාන්විතය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කිරීමේ අවස්ථාව හිමි විය.

ජනතාවගේ මැදිහත් වීමෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරුමුණින් සිදුකරන ගම්මැද්ද ක්‍රියාන්විතය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සිදු කළේ කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා විසින්.

ගම්මැද්ද අද වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම බිම් මට්ටමේ ක්‍රියාන්විතයක් වන අතර අමෙරිකාවේ බ්‍රවුන් විශ්වවිද්‍යාලය සහ ක්ලින්ටන් රාජ්‍ය සේවා විශ්වවිද්‍යාලය එහි ගෝලීය අධ්‍යයන හවුල්කරුවන් ලෙස කටයුතු කරනු ලබයි.

ලෝක පූජිත ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ ක්‍රිස්ටෝෆර් රෙන් විසින් නිර්මාණය කරන ලද  ඵෙතිහාසික ෂෙල්ඩෝනියන්  ශාලාවේ පැවති මෙම වැඩසටහනේ දී ගම්මැද්ද ක්‍රියාන්විතය ආචාර්ය ජෝන් හොෆ්මයර් විසින් ද පැසසුමට ලක් කරනු ලැබුවේය.

2010 වසරේදී ඇරඹි බ්ලැවැට්නික් පාසල, ඔක්ස්වර්ඩ්හී නවතම අධ්‍යන පීඨයක් වන අතර පරිපාලනය පිළිබඳ වූ විශ්වවිද්‍යාල පොදු ප්‍රතිපත්ති සඳහා වෙන්වූ ඒකකයයි.    

දශකයකට පමණ පෙර කැපිටල් මහරාජා සමූයේ දිවංගත සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ සංකල්පයක් මත ආරම්භ වූ ගම්මැද්ද ක්‍රියාන්විතය මේ වනවිට මෙරට නව්‍යකරණය වෙමින් ඉදිරියට යන මානුෂීය ක්‍රියාන්විතයයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග එක්ව  මෙරට සෑම අස්සක් මුල්ලක් නෑරම බිම් මට්ටමෙන් කරන ලද සමීක්ෂණ වාර්තාවන් හා දත්ත පදනම් කරග ගනිමින් ගම්මද්ද  ක්‍රියාන්විතය ක්‍රියාත්මක වනවා.