පාස්කු ප්‍රහාරයේ පාපොච්චරණයක් ගැන නිගමනය

පාස්කු ප්‍රහාරයේ 11වැනි සැකකරුගේ පාපොච්චරණය ගැන නිගමනය

by Staff writer 24-07-2024 | 5:55 PM

COLOMBO (News 1st ) - පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව ගැන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගය වන නඩුවේ 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නැමැත්තා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ කර ඇති පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් කළ  එකක් බව අධිකරණය  නිගමනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එවකට ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරයාට අද (24) නොතීසි නිකුත් කෙරුණි.

නඩුව අද කැඳවනු ලැබුවේ දමිත් තොටවත්ත, අමල් රණරජා, සහ නවරත්න මාරසිංහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එහි 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නැමැත්තා ඔහුට මහෙස්ත්‍රාතාවරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දිය යුතු බව පවසා තිබුණි.

ඒ අනුව ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවේ  පාපොච්චාරණයක් කර ඇති අතර එම ප්‍රකාශය ස්වෙච්ඡාවෙන් කළ එකක් ද එසේත් නැතිනම් කිසිවෙකුගේ බලපෑමක් මත කළ ප්‍රකාශයක්ද යන්න ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කර තිබේ.

එහි ප්‍රගතිය අද දින අධිකරණයට දැන්වූ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් සිදු කළ එකක් බව නිගමනය කරන ලදි.

එබැවින් එම ප්‍රකාශය රජයේ සාක්ෂියක් බවට පත් කිරීමට තීරණය කල විනිසුරු මඬුල්ල විත්තිකරු මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා එවකට හිටපු ගල්කිස්ස මහේස්ත්‍රාත් වරයාට නොතීසී නිකුත් කරන ලෙස නියෝග කළේ ය.