අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 24-07-2024 | 6:34 AM

COLOMBO (News 1st) - අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ හෙවත් 'සීක්‍රට් සර්විස්' හි ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

ඒ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීමත් සමග, ඇයට එල්ල වූ විවේචන හේතුවෙනි. 

පසුගිය 13 වැනි දා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 

ඉන් ජනාධිපතිවරයා සුළු තුවාල ලැබූ අතර රිපබ්ලිකන් පාක්ෂිකයෙකු මිය ගියේ ය. 

මේ වනවිට අනාවරණය වී ඇත්තේ, වෙඩික්කරු සම්බන්ධයෙන් රැළිය ආරම්භ වීමට පෙර ආරක්ෂක අංශවලට තොරතුරු වාර්තා වී තිබුණු බවයි. 

ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ කීර්ති නාමයක් දිනාගෙන සිටින අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශය අදාළ වෙඩි ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ට ප්‍රබල විවේචනයක් එල්ල විය. 

මේ හේතුවෙන් එහි සම්පුර්ණ වගකීම භාරගනිමින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රභූ ආරක්ෂක අංශය ප්‍රධානි කිම්බලි චීට්ල් නිවේදනය කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.