ශ්‍රී ලංකා කාන්තා පිලට වාර්තාගත ජයක්

චමරිගේ විශිෂ්ට ශතකයෙන් මලයාසියාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිලට වාර්තාගත ජයක්

by Staff writer 22-07-2024 | 6:50 PM

COLOMBO ( News 1st ) - ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මලයාසියාවට එරෙහි තරගය සත්කාරක ශ්‍රී ලංකාව ලකුණු 144කින් අද (22) ජය ගත්තේ ය.

ශ්‍රී ලංකා කාන්තා  කණ්ඩායම වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය මෙයයි.

කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම අතර ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 64ක්.

අනතුරුව චමරි සමග එක් වූ අනුෂ්කා සංජීවනී තුන්වැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

එය වාර්තා අතරට එක් වුණේ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගයකදී තුන්වැනි කඩුල්ලට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවය ලෙසයි.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු අද වාර්තා අතරට එක් විය.

ඇය පන්දු 69කින් නොදැවී රැස් කළ ලකුණු 119ට 4 පහර 14ක් සහ 6 පහර 7ක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4කට ලකුණු 184ක් රැස් කිරීමට සමත් විය.

එය වාර්තා අතරට එක් වුණේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 20යි 20 තරගයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ලකුණු 185ක දැවැන්ත ඉලක්කයකින් පිටියට පිවිසි මලයාසියා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 40කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූහ.

ශශිනි ගිම්හානි කඩුලු 3ක් දවා ගත් අතර, කාව්‍යා සෙව්වන්දි සහ කවීෂා දිල්හාරි අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.