තාක්ෂණික ලෝකය අඩපණ කළ සයිබර් අවුල්....

by Staff writer 19-07-2024 | 1:07 PM

COLOMBO (News 1st) - අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ සේවා සපයන ආයතනයක මතුවී ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලෝව  පුරා රටවල් රැසක සේවාවලට දැඩි බාදා මතුව තිබේ.

මේ හේතුවෙන් බැංකු , ගුවන්තොටුපොළ මෙහෙයුම් , ගුවන්  ගමන් , මාධ්‍ය විකාශන කටයුතු , සුපිරි වෙළඳසැල්, රෝහල් ඇතුළු සේවා රැසකට බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

අදාළ ගැටලුව ඇති වීමට හේතුව බවට සැක කරන්නේ  අම‍ෙරිකාවේ CROWD STRIKE සමාගමේ ෆැල්කන් නැමති මෘදුකාංගයක හටගත්  තාක්ෂණික ගැටලුවක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ලෝව ප්‍රකට Microsoft සමාගමේ වින්ඩොස් ඇතුළත් පරිගණකවල  සයිබර් ආරක්ෂණය සඳහා බහුලව භාවිත කරන්නේ ෆැල්කන් නැමති  අදාළ මෘදුකාංගයයි.

අද (19) එහි යාවත්කාලීන කිරීමක් සිදුකිරීමට යාමේදී මෙම ගැටලුව මතුව ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන් වේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ , මේ හේතුවෙන් දැඩිම බලපෑම සිදුව ඇත්තේ ඔස්ට්‍රේලියාවට බවයි.

ඉන්දියාව, ජපානය, කැනඩාව සහ ඇමෙරිකාව ඇතුළු රටවල් රැසකට ද, මින් බලපෑම් එල්ලවී ඇත.

අදාළ ගැටලුව ශ්‍රී ලංකාවට බලපෑමක් කරයිද යන්න පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි අපරාධ සංසදයෙන් විමසීමක් කළ අතර එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරූ චාරුක දමුණුපොල මහතා ප්‍රකාශ කළේ ශ්‍රී  ලංකාවේ බැංකු කිහිපයක කටයුතුවලට ද  මේ සම්බන්දයෙන්  බලපෑමක් එල්ලවී ඇති  බවයි.

නමුත් අදාළ බැංකු මේ දක්වා තමන්වෙත ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම්දී නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.