ජනාධිපතිවරයාගේ ධූර කාලය ගැන ජනපතිගේ ස්ථාවරය..

ජනාධිපතිවරයාගේ ධූර කාලය ගැන ජනපතිගේ ස්ථාවරය..

by Staff writer 04-07-2024 | 6:21 PM

 

COLOMBO (News 1st) 

 - ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේ, මේ අනුව 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය අද මේ නිවේදනය නිකුත් කර තිබුණේ, ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම පිළිබඳව අවධානය යොමුකරමින් ය.

මේ වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා චමින්ද්‍ර දයාන් ලේනව මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේ, මෙම පෙත්සම පිළිබඳ රජයේ අවදානය යොමුව ඇති බවයි
- උපුටා ගැනීම -

අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමග කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30(2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

උපුටා ගැනීම අවසන්

ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ,  2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බව ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය බවයි.