පියුමිගේ බැංකු ගිණුම් 19 ක් ගැන CID විමර්ශන..

පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් 19 ක් ගැන CID විමර්ශන..

by Staff Writer . 03-07-2024 | 1:24 PM

COLOMBO ( News 1st ) - ජනප්‍රිය නිරූපණ  ශිල්පිනී  පියුමි හංසමාලි මහත්මියගේ බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසයි.

 

බැංකු ගිණුම් වාර්තා කඩිනමින් ලබා දෙන්නැයි, අදාළ මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති බව එහි නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ය.

 

එම වාර්තා ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශනය කර, අවශ්‍යතාව මත පියුමි හංසමාලි මහත්මියගෙන් ප්‍රකාශ ලබා ගන්නා බව ද, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කළහ.

 

නිරූපණ  ශිල්පිනී  පියුමි හංසමාලී මහත්මිය පෙරේදා (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණියා ය.

 

ඒ , රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

 

ඇය එදින එම කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ බැංකු ගිණුම් ඇතුළු තොරතුරු ද සමගිනි.

 

එදින පියුමි හංසමාලි මහත්මියට කැඳවීමක් කර තොතිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පෙරේදා පැවසුවේ ය.

 

ඒ අනුව , ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු නොවූ බව ද ඔහු සඳහන් කළේය.