ආගමික උත්සවයක තෙරපීමෙන් 116ක් මරුට

ඉන්දීයාවේ ආගමික උත්සවයක තෙරපීමෙන් මියගිය ගණන 116ක් දක්වා ඉහළට..

by Staff writer 03-07-2024 | 8:44 AM

COLOMBO ( News 1st ) - ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ආගමික උත්සවයකදී ඇති වූ තෙරපීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 116 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (02) පස්වරුවේ, මෙම තෙරපිම සිදුව ඇත්තේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් නගරයේ පැවැති සත්සංග් නැමැති  උත්සවය අතරතුරේදීයි.

 

වාර්ෂිකව පැවැත්වෙන සත්සංග් උත්සවයට බැතිමතුන් දහස් ගණනක් පැමිණෙන බව විදෙස් වාර්තාවන්හි සඳහන් විය.

 

ඊයේ දිනයේ සත්සංග් උත්සවයට අපේක්ෂිත සංඛ්‍යාව ඉක්මවා බැතිමතුන්  පිරිසක් සහභාගී ව තිබුණි.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තෙරපීමෙන් අනතුරුව විශාල පිරිසක් මලාපවහන පද්ධතියකට ඇද වැටීම මරණ ඉහළ යාමට හේතුව බවයි.

 

මියගිය116 දෙනා අතර කාන්තාවන් 108 දෙනෙකු සහ ළමුන් 7 දෙනෙකු සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

 

එරට පොලීසිය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

 

අනතුරට හේතුව සෙවීමට වහා විමර්ශනයක් ආරම්භ කළ බව උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් පැවසීය.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ද මියගිය පිරිස වෙනුවෙන් ශෝකය පළ කර තිබේ.