විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක....

වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක....

by Staff writer 02-07-2024 | 7:30 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ දුරකථන දීමනාව ලබා නොදීම, විදුහල්පති දීමනාව සියලු ශ්‍රේණිධාරීන්ට ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනි.

ඒ අනුව පුද්ගලික ජංගම දුරකථනයෙන් සිදු කරන සියලු රාජකාරී කටයුතු නතර කිරීම, ප්‍රවාහන පහසුකම් හෝ දීමනා නොලැබෙන කිසිඳු වැඩසටහනකට රාජකාරී ස්ථානයෙන් බැහැරට නොයෑම ඇතුලු  ක්‍රියාමාර්ග රැසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඇතුළත්.

මේ අතර, අද දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ , පසුගියදා කොළඹ පැවති උද්ඝෝෂණයට පහර දීමට විරෝධය පළ කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි.

අද පාසල් වේලාවෙන් පසුව විරෝධතා පැවැත්වීමට නියමිත වේ.