ජනපතිගෙන් යළිත් සියලු දේශපාලන පක්ෂවලට ඇරයුමක්

මල්වට්ටියට අත ගහන්න - ජනපතිගෙන් යළිත් සියලු දේශපාලන පක්ෂවලට ඇරයුමක්

by Staff writer 02-07-2024 | 6:20 PM


ද්වීපාර්ශ්වික විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතා පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කල ජනාධිපතිවරයා රට යළි ගොඩනැංවීමේ අභියෝගාත්මක ව්‍යායාමයට එක් වන්නැයි සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේ ය. 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 

මේ සියල්ල දෙස අවධානයෙන් සහ සීරුවෙන් බලා සිටින කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. විවිධ දේශපාලන පක්‍ෂවලට අයත් ඔවුන් මේ සියල්ල ස්වාධීනව සහ අපක්‍ෂපාතීව නිරීක්‍ෂණය කරනවා. ඔවුන් ඉවසිලිවන්තව මේ සියල්ල බලා සිටිනවා. පක්‍ෂයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් හෝ පෙනී සිටිනවාද, එහෙමත් නැත්නම් රට වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න ගැන ඔවුන් දැඩි ලෙස අවධානය යොමු කර තියෙනවා. හුණුවටයේ කතාව නාට්‍යයේ ගෲෂා දරුවා වඩාගෙන වැල්පාලමේ යන්න තීරණය කරනවා. ඒ අවස්ථාවේ වෙන විකල්පයක් නෑ. ඒ වෙලාවෙ ළඟ ඉන්න කෙනෙක් ගෲෂා ගෙන් මෙහෙම අහනවා.‘මැරෙන්න හදනවද? පේනවද හෙළ..! පාතාල ලෝකෙ වගේ….!! ඒත් ගෲෂා අවදානම් තීරණය ගන්නවා.ඇය දරුවත් වඩාගෙන කොහොම හරි වැල් පාලම තරණය කරනවා.හැබැයි හුඟක් දෙනා බලන් ඉන්නෙ ගෲෂා වැල් පාලමෙන් පහළට වැටෙයි කියලා. ඒත් අන්තිමේදි ඇය දරුවාවත් රැගෙන ආරක්‍ෂිතව වැල් පාලමෙන් එගොඩ වෙනවා.බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම.‘මං උන්නෙම වැටෙයි කියලා…. අපරාදෙ….’අන්න එහෙම කාලකන්නි සිතිවිලි තියෙන අය අදත් මේ සමාජයේ ඉන්නවා. මම ඒ අයටත් කියන්නේ, රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් ඒ සිතිවිල්ල වෙනස් කරගන්න කියලයි. මට කැමති, අකමැති – මට ගරු කරන, මට නිගරු කරන මේ ගරු සභාවේ සියළු සාමාජිකයන්ගෙන් යළි යළිත් ඉල්ලා සිටින්නේ රට ගැන සිතන්න කියායි.එකක් මතක තියා ගන්න.මම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ දේශපාලන ජනප්‍රියතාවය වෙනුවෙන් නෙවෙයි.මම තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන්. පසුගිය අවුරුදු දෙක පුරා මම දේශපාලනය කළේ නෑ.  මම ඉල්ලා සිටින්නේ රට යළි ගොඩනැංවීමේ අභියෝගාත්මක ව්‍යායාමයට එක් වෙන ලෙසයි. මේ මල් වට්ටියට අතගසන ලෙසයි.එන්න. අපි එකට එක්වී අපේ මව්බිම යළිත් ඉහළට ඔසවා තබමු