මිය ගිය ධීවරයින් රැගෙන එන්න ගිය යාත්‍රාවේ දෝශයක්

තංගල්ල මුහුදේදී මිය ගිය ධීවරයින් රැගෙන එන්න ගිය යාත්‍රාව කාර්මික දෝශයකට ලක් වෙයි..

by Staff writer 30-06-2024 | 10:27 AM

COLOMBO (News 1st) - මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දියරයක් පානය කිරීමෙන් තංගල්ල මුහුදේදී මියගිය ධීවරයින් ගොඩබිමට රැගෙන එන යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් යාත්‍රාව ගොඩබිමට පැමිණීම තවත් ප්‍රමාද වනු ඇති බවයි.

අදාළ ධීවර යාත්‍රාවේ සිටින ධීවරයින් රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ විජයබාහු නෞකාව පිටත් කර යවා තිබිණි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ, එය අදාළ ධීවර බෝට්ටුව පවතින ස්ථානයට ළඟාවීමට තවත් පැය ගණනාවක් ගත වනු ඇති බවයි.

එම මුහුදු කලාපය හරහා ගමන් කිරීමට නියමිත සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරන නෞකාවකින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන ධීවරයින්ට ප්‍රථමාධාර දීමට සැලසුම් කර ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය.

එම නෞකාව අද (30) පෙරවරු 8 පමණ වන විට ධීවර බෝට්ටුව ආසන්නයට ළඟාවීමට නියමිතයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, තත්ත්වය සළකා බලා, එම නෞකාවෙන් ධීවරයින් ගොඩබිමට රැගෙන ඒමට ද උත්සහ කරන බවයි.

ඩෙවෝන් 5 නමැති අදාළ බහු දින ධීවර යාත්‍රාව තංගල්ල වරායෙන් මුහුදු ගොස් තිබුණේ, පසුගිය 4 වැනිදායි.