ද. අප්‍රිකාව අවසන් මහා තරගයට

දකුණු අප්‍රිකාව පළමු වරට T20 ලෝක කුසලානයක අවසන් මහා තරගයට

by Staff writer 27-06-2024 | 9:10 AM

COLOMBO (News 1st) - දකුණු අප්‍රිකාව පළමු වරට පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, ඇෆ්ගනිස්ථානය සමග පැවති මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය කඩුලු 9කින් අද ජය ගනිමිනි.

කාසියේ වාසිය හිමි කර ගත් ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් ඛාන් තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව, පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

මාර්කෝ ජැන්සන් සහ ටබ්රයිස් ශම්සි අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 11යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 56ක් පමණි.

ලකුණු 57ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 8යි පන්දු 5ක් තුළ කඩුල්ලක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.

නායක ඒඩ්න් මාක්‍රාම් නොදැවී ලකුණු 23ක් රැස් කළ අතර රීසා හෙන්රික්ස් නොදැවී ලකුණු 29යි.