ගුරු - විදුහල්පතිවරුන් අදත් වර්ජනයේ..

ගුරු - විදුහල්පතිවරුන් අදත් වර්ජනයේ.. පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි..

by Staff writer 27-06-2024 | 7:33 AM

COLOMBO (News 1st) - ගුරු - විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලට විරෝධය පළ කරමින් අද (27) දිනයේදීත් දිපව්‍යාප්තව වර්ජනයේ නිරත වන බව ගුරු - විදුහල්පති  වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන කළේ, අද දිනයේ සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බවයි.

වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා ලෙඩ නිවාඩු දමා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් ඊයේ දහවල් කොටුව දුම්රියපොළ ආසන්නයෙන් විරෝධතා පා ගමනක් පැවැත්විය.

කෙසේ වෙතත් විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. 

ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් හා පිරිවෙන් ගුරුවරුන් නියෝජනය කරමින් වෘත්තීය සමිති 30කට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා එක්ව සිටියහ.

අප වාර්තාකරුවන් පැවසුවේ, ගුරු - විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පාසල්වල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වූ බවයි.

පොලීසිය සිය විරෝධතා පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව අද දිනයේදීත් දිපව්‍යාප්තව වර්ජනයේ නිරත වන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මේ අතර අද දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023(2024) විභාගයේ 2 වන අදියරේ ඇගයීම් කටයුතු නොවැළැක්විය හැකි හේතුවක් මත ආරම්භ නොවන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ඇගයීම් කටයුතු හෙට දින සිට ආරම්භ වන බවත් සියලුම පරීක්ෂකවරුන් හා ඇගයීම් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල වෙත කාරුණිකව දැනුම් දෙන බවයි.