විරෝධතාකරුවන් කෙන්යානු පාර්ලිමේන්තුවට ගිනි තබයි!

විරෝධතාකරුවන් පිරිසක් කෙන්යානු පාර්ලිමේන්තුවට ගිනි තබයි!

by Staff writer 26-06-2024 | 7:47 AM

COLOMBO (News 1st) - කෙන්යාවේ විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ගිනි තබා තිබේ.

ඒ, ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාර්ලිමේන්තු සෙංකෝලය ද සොරකම් කර ඇති බවයි.

එරට සෑම ප්‍රදේශයකම විරෝධතා ක්‍රියාත්මක වී ඇති අතර නයිරෝබි අගනගරයේදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

විරෝධතාකරුවන් අතර හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ සොහොයුරියක වන අවුමා ඔබාමා ද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ පිළිබඳව එරට ජනාධිපති විලියම් රූටෝ ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ විරෝධතාකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් වන බවයි.

ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබේ.

විරෝධතා සඳහා හේතු වූ මූල්‍ය පනත් කෙටුම්පතට අනුව අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ කිහිපයක් සඳහා අගය එකතු කිරීමේ බද්දක් එක් කිරීමට නියමිත වූ බව සඳහන්ය.

කෙසේ වෙතත් පසුගිය සතියේ සිට ඊට එරෙහිව පැවති විරෝධතා හේතුවෙන් බදු වැඩි කිරීම් කිහිපයක් පනත් කෙටුම්පතින් ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇත.