ජුලියන් අසාන්ජ් අපරාධ චෝදනා පිළිගැනීමේ සූදානමක

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඔහුට එරෙහි අපරාධ චෝදනා පිළිගැනීමේ සූදානමක..

by Staff writer 25-06-2024 | 1:04 PM

COLOMBO ( News 1st ) -විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්, ඔහුට එරෙහිව අමෙරිකාව ගොනු කර ඇති අපරාධ චෝදනා පිළිගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

අධිකරණ ලේඛන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ ය.

තමාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් අමෙරිකාව සමග පවතින එකඟතාවයක කොටසක් ලෙස ඔහු, අදාළ අපරාධ චෝදනාවලට වරද පිළිගැනීමට සූදානම් බව දැක්වේ. 

අමෙරිකාවේ ජාතික ආරක්ෂක තොරතුරු ලබා ගැනීම සහ හෙළි කිරීමට අදාළව කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් 52 හැවිරිදි ජුලියන් අසාන්ජ්ට චෝදනා එල්ල විය.

අම‍ෙරිකාව දිගින් දිගටම චෝදනා කලේ, ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ පිළිබඳ තොරතුරු හෙළි කළ විකිලීක්ස් ලිපිගොනු, ජන ජීවිත අනතුරේ හෙළන බවටයි.

නමුත් අදාළ චෝදනා දේශපාලන පළිගැනීම් බව සඳහන් කරමින්, ජුලියන් අසාන්ජ් සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දිගින් දිගටම අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළේය. 

කෙසේ වෙතත්, ජුලියන් අසාන්ජ් පසුගිය වසර 05ක කාලය තුළ බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක ගත කළ අතර, එතැන් සිට ඔහු අමෙරිකාවට පිටුවහල් කිරීමට එරෙහිව සටන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. 

ජුලියන් අසාන්ජ්ට එරෙහි නඩු පැවරීම ඉවත් කරන ලෙස ඔස්ට්‍රේලියාවෙන් කළ ඉල්ලීමක් සලකා බලන බව පසුගිය අප්‍රේල් මාසයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේය.