ඇෆ්ගනිස්ථානයට එරෙහිව කොදෙව්වන්ට දැවැන්ත ජයක්..

ඇෆ්ගනිස්ථානයට එරෙහිව කොදෙව්වන්ට ලකුණු 104ක දැවැන්ත ජයක්..

by Staff writer 18-06-2024 | 12:17 PM

COLOMBO (News 1st) - 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 104කින් අද ජය ගත්තේය.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වූ මෙය බටහිර ඉන්දීය කොදෙව්හි ඩැරන් සැමී ක්‍රීඩාංගනයේදි පැවැත්විය.

එහි කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව , පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 22කදී බිඳ වැටුණි.

ජොන්සන් චාල්ස් සහ නිකලස් පූරන් දෙවැනි කඩුල්ලට ලකුණු 80ක සබඳතාවයක් ගොඩනගමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළේ ය.

ජොන්සන් චාල්ස් ලකුණු 43කි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ නිකලස් පූරන් හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 98ක් රැස් කළේ ය.

එය මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් ක්‍රීඩකයෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

මේ අතර  පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට පැමිණීමට ද නිකලස් පූරන් අද සමත් විය.

ඔහු රැස් කරගෙන ඇති හයේ පහර සංඛ්‍යාව 128කි.

මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හයේ පහර 124ක් ලබාගෙන සිටි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 218කි.

එය මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් විසින් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

ඇෆ්ගනිස්ථාන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු නොලබා දැවී ගියේ ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඊබ්‍රහිම් සද්රාන්ට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 38ක් පමණි.

අස්මතුල්ලා ඔමර්සායි ලකුණු 23ක් රැස් කළේ ය.

ඔබෙඩ් මැකෝයි කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 14ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්ය.

ඒ අනුව , ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 16යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 114ක් පමණි.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග එම්.ටී.වී මාධ්‍ය ජාලයේ ටී.වී වන් නාලිකාව ඔස්සේ සහ www.sirasa tv.lk වෙබ් අඩවිය ඔස්සේත්, ඔබට නැරඹිය හැකිය.