ශ්‍රී ලංකාවට තාමත් සුපර් 8 යන්න පුළුවන්ද?

ශ්‍රී ලංකාවට තාමත් සුපර් 8 යන්න පුළුවන්ද?

by Staff writer 12-06-2024 | 6:07 PM

COLOMBO (News 1st) - වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් නේපාලය සමග අද (12) පැවැත්වීමට තිබූ තරගය අත්හැර දැමීමත් සමග විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට  සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව ඔවුන් තරග වදින D කාණ්ඩයේ සෙසු තරගවල ප්‍රතිඵල මත රැඳී පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනා අතරට ඇතුළත්වීම සඳහා නෙදර්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිය යුතුයි.

එමෙන්ම නේපාල දකුණු අප්‍රිකා තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගත යුතුයි.

නමුත්, මේ වන විට සහභාගී වූ තරග 3 ම ජය ගත් දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර අවසන්. 

ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගයෙන් ශ්‍රී ලංකාව ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සමග ජය ගැනීමද සුපිරි 8 ට ඇතුළත්වීමට අත්‍යාවශ්‍ය කරුණක්.

එසේම, බංග්ලාදේශ - නේපාල තරගයෙන් බංග්ලාදේශය පරාජය විය යුතුයි.

මේ සියලු කරුණු සම්පූර්ණවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 වටයේ අවස්ථාව හිමිවේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම් පිළිබඳව මහීෂ් තීක්ෂණ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය..

එහිදී ඔහු සඳහන් කළේ කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි. 

කණ්ඩායමක් වශයෙන් තරග කිරීමට ඇති තත්ත්වයන් සඳහා හැඩ ගැසීමට නොහැකි වූ බවත්,ඉදිරි තරගය හොඳින් ක්‍රීඩාකොට ජයගැනීමට බලාපොරොත්තුවන බවත් මහීෂ් තිීක්ෂණ අදාළ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

"කිසිසේත්ම මම සෑහීමකට පත් වෙන්නේ නෑ අපේ කණ්ඩායමේ දක්ෂතා එක්ක. මොකද අපි තරගාවලියට එද්දි හොඳ මෙන්ටෑලිටි එකක් තිබ්බා. අපි බෝලර්ස්ලා හොඳට කරලා හිටියා. බැට්ස්මන්ලා හොඳට කරලා හිටියා. මං හිතන්නේ අපි කන්ඩිෂන්වලට හොඳට අජස්ට් වුණේ නැහැ. පිතිකරණයේදී වුණත් අපි අතින් වැරදීම් වුණා, පළවෙනි තරගයේදී.මං හිතනවා අපේ කණ්ඩායමේ තුන් දෙනෙක් හතර දෙනෙක් වගේ තමයි ඒ සෙන් ලුසියාවල මැච් ගහලා තියෙන්නේ. අපි කණ්ඩායමක් හැටියට ඒ තියෙන එක්ස්පීරියන්ස්  ටික අරගෙන, අපිට හොඳ බෝලිං යුනිට් එකක් තියෙනවා. අපි හිතනවා අපි සෙන් ලුසියාවලදි හොඳ බැටිං ඩිස්පේලේ එකක් දාලා අපි අන්තිම තරගය හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරාත්තු වෙනවා'' 

ශ්‍රී ලංකාව ලබන සඳුදා බටහිර ඉන්දීය කොදෙව්හි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව තරග වදින D කාණ්ඩයේ සහභාගීවූ තරග තුනම ජයගෙන මේ වනවිට දකුණු අප්‍රිකාව සුපිරි 8 දෙනාගේ වටයට ඇතුළත්.

A කාණ්ඩයෙන් තරග වදින  ඉන්දියාව එහි  පෙරමුණේ සිටින අතර B කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව සුපිරි 8 දෙනා අතරට ඇතුළත්ව සිටී.

C කාණ්ඩායේ පෙරමුණේ සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.