බංග්ලාදේශයට එරෙහිව අමෙරිකාවට පළමු වරට තරගාවලි ජයක්

ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් අමෙරිකාව පළමු වරට බංග්ලාදේශයට එරෙහිව තරගාවලියක් ජය ගනී..

by Staff writer 24-05-2024 | 2:05 PM

COLOMBO (News 1st) -  අමෙරිකාව පළමු වරට බංග්ලාදේශයට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ ය.

ඒ, සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 6කින් ජය ගනිමින්.
සංචාරක බංග්ලාදේශය සහ අමෙරිකා කණ්ඩායම අතර පළමු වරට මේ දිනවල  පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ක්‍රියාත්මක වෙයි. 

දෙරට අතර දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අමෙරිකාවේ ප්‍රේරිවිව් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සයි විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 144කි.

නායක මොනාක් පටෙල් ලකුණු 42ක් රැස් කළේ ය.

ආරෝන් ජෝන්ස් ලකුණු 35කි.

සොයිෆුර් ඉස්ලාම් , මුස්ටෆිසුර් රෙහෙමාන් සහ රිෂාඩ් හුසේන් කඩුලු 2 බැගින් බිද හෙලුවේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 138ක් පමණයි.

නායක නජිමුල් හුසේන් ෂැන්ටෝ ලකුණූ 36කට දැවී ගියේ ය.

අලී කාන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.