කළුගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් සුළු ගංවතුර අවදානමක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 24-05-2024 | 6:54 AM

COLOMBO (News 1st) – කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතින්නේ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් ය.

ඊට අමතරව කළු ගඟ පුටුපවුල සහ මඟුර ප්‍රදේශවලින් අවදානම් මට්ටමේ පවතී. 

අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇත්තේ, දූනමලේ ප්‍රදේශයෙන් ය.

කැලණි ගඟ, නාගලගම් වීදියෙන් අවදානම් මට්ටමේ පවතී. 

නිල්වලා ගඟ අවදානම් මට්ටම පැමිණ ඇත්තේ, තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවලින් ය.

මේ අතර, සබරගමුව පළාතේත් නුවර එළිය දිස්ත්‍රික්කයටත් අද දිනයේ මිලිමීටර් 150 ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වලටත්, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 වැසි ඇතිවිය හැකි බවයි.

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු මැද බස්නාහිර දකුණු හා වයඹ පළාත්වලත් අද දිනයේ පැයට කිලෝ මීටර් 60 ක් දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ , ඉදිරි දින කිහිපයේදි දිවයිනේ තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි.

මේ අතර, බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. 

එම මුහුදු ප්‍රදේශවලට සුළං වේගය, පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.

වර්ෂාව හා තද සුළ හේතුවෙන් සිදුවු විවිධ අනතුරු හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 4 කි.

තවදුරටත් දිස්ත්‍රික්ක 15 ක පුද්ගලයින් 33960 කුට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර , දිස්ත්‍රික්ක 09 කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකයි.

බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, ගාල්ල , කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක්, ඒ අතරට ඇතුළත් ය.