සිරසානමාමි වෙසක් කලාපයට ආ ඉන්දීය මහකොමසාරිස්

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සිරසානමාමි වෙසක් කලාපයට

by Staff writer 23-05-2024 | 10:05 PM

COLOMBO (News 1st) - සිරසානමාමි සිරස වෙසක් කලාපය විදුලි පහන් ආලෝකයෙන් ඒක‍ාලෝක කරමින් නිල වශයෙන් අද(23) පස්වරුවේ ආරම්භ කෙරිණ‍ි.

ඒ, කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ අනිල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද අද(23) පස්වරුවේ සිරසානමාමි සිරස වෙසක් කලාපයට පැමිණියේ ය.

වෙසක් කලාපයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සූදානම් කර ඇති මහා බත් දන්සල ආරම්භ කෙරුණේ ද ඉන්දීය මහකොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙනි.

අනතුරුව ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් සිරසානමාමි වෙසක් කලාපයට වැඩම කරවා ඇති සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමුඛ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත්තේය.

සිරසානමාමි වෙසක් කලාපය තුළ ඉදි කර ඇති කට්ඨාරී ජාතක කතාව නිරූපණය කෙරෙන තොරණේ අසිරිය විඳ ගැනීමටත්  ඉන්දීය මහ කොමසාරිස්වරයා අමතක කළේ නැහැ. 

අනතුරව සිරසානමාමි වෙසක් කලාපය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙලෙස සිය හඬ අවධි කළේය. 

"ප්‍රථමයෙන්ම සියලුම ලක්වාසීන්ට ප්‍රීතිමත් සාමකාමී සෞභාග්‍යමත් වෙසක් මංගල්‍යයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! මේ උත්සවය ඉන්දියාවෙත් සමරනවා. මෙම උත්සවය අප එක් වී සමරන උත්සවයක්. අද ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් නැරඹුවොත් බුදුරජාණන් වහන්සේ ගැන සහ මෙම උත්සවය ගැන විකාශනය වෙනවා. ඒක අපේ ගුණාංගවලට ඉතාම වටිනවා. බෞද්ධාගමෙන් මනුෂ්‍යයන් විදිහට අපව නිර්වචනය වෙනවා. වෙසක් උත්සවය අපව දෙජාතියක්  විදිහට සමගි කරවන උත්සවයක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කිරීමට මෙම වෙසක් උත්සවය එකට සැමරීමම විශාල පිටුවහලක් වෙනවා"