පොලිස්පති දේශබන්දුගෙන් විශේෂ කමිටුවක්....

ISIS බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් ගැන විමර්ශනයට පොලිස්පති දේශබන්දුගෙන් විශේෂ කමිටුවක්....

by Staff writer 22-05-2024 | 5:45 PM

COLOMBO (News 1st) - ISIS සංවිධානයේ සාමාජිකයින් ලෙස ප්‍රහාරයක් සඳහා පැමිණි බවට සැකපිට ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා පිළිබදව විමර්ශනය සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කමිටුවක් පත් කර තිබේ .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර ඇති බවයි.

මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා පෙරේදා (20)  අහමදාබාද් ගුවන් තොටුපොළේදී ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දකුණු ඉන්දියාවේ සිට ගුවනින් හෝ දුම්රියෙන් පැමිණෙන ISIS  ත්‍රස්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමන් ඇතැයි, ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකයට බුද්ධි තොරතුරක් ලැබී තිබූ බවයි.

ඒ අනුව ඔවුන් ගුවන් තොටුපොළේ විශේෂ පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබූ අතර විමර්ශන ක්‍රියාවළියද පුළුල්කර තිබිණි.

මීට පෙර අහමදාබාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලකරන බවට ලැබුණු ඊමේල් පණිවිඩයක් ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී එම පණිවිඩය එවා තිබූ IP ලිපිනය විමර්ශන කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන තිබූ අතර පෙරේදා (20) සැකකරුවන් සිව් දෙනා හඳුනාගෙන තිබුනේ එම විමර්ශන වාර්තා අනුවයි.

අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා දින කිහිපයකට පෙර චෙන්නායි වෙත පැමිණ එහි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින්  අහමදාබාද්වෙත පැමිණ ඇතැයි, මේ වනවිට අනාවරණයවී තිබේ.

මේ වනවිට ඉන්දීය විමර්ශන කණ්ඩායම් අනාවරණය කර ඇති ආකාරයට අහමදාබාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් සිව් දෙනා.

මීගමුව පෙරියමුල්ලේ පදිංචිකරුවෙකු වූ 33 හැවිරිදි මොහොමඩ් නුස්රත්.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්.

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 35 හැවිරිදි මොහොමඩ් ෆාරිස්.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 43 හැවිරිදි මොහොමඩ් රස්ඩීන්.

මේ අතරින් මොහොමඩ් නෆ්රාන් නමැත්තා, සරත් අඹේපිටිය විනිසුරු ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකුවන නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නැමැතැත්ගේ පුත්‍රයෙකු බවටද හඳුනාගෙන තිබේ.

අතරමග පාසල් ගමන නවතා දැමූ නෆ්රාන් ව්‍යාපාරයක් ලෙස ඉන්දියාවට ගොස් රෙදිපිලි රැගෙන විත් මෙරට අලෙවිකරන  ව්‍යාපාරයක්  සිදුකර ඇතැයි, විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

2017 වසරේදී ඔහු මෙරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුනේ මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේවූ චෝදනාවක් මතයි. 

නෆ්රාන් ව්‍යාපාර කටයුතු සඳහා නිතර ඩුබායි හා ඉන්දියාවේ සංචාරය කරන අයෙකු බවද විමර්ශනවලදී අනාවරණයවී ඇත.

අහමදාබාද් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැණුන මොහොමඩ් නෆ්රාන් ඇතුළු සිව් දෙනාගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් හෙලිවී ඇතැයි, ඉන්දීය මාධ්‍ය අද  (22) වාර්තා කර තිබිණි.

එම වාර්තාවල සඳහන්වූයේ ඔවුන් පාකිස්ථානයේ ISIS නායකයෙකු ලෙස කටයුතු කරන අබු නැමැත්තා සමග සම්බන්ධවී කටයුතු කර ඇති බවයි.

පසුගිය පෙබරවාරී මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් අබු නැමැත්තාගේ මෙහෙයවීම මත ප්‍රහාරයක් සදහා අහමදාබාද් නගරයට පැමිණි බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ය.

මේ අතර ද හින්දු  පුවත්පත අද අනාවරණය කළේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් බවට අනාවරණයවී ඇති බවයි.

ජාතික තවුහිද් ජමාද් යනු පාස්කු දින ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මවූ ත්‍රස්ත කණ්ඩායමයි.

අහමදාබාද් නගරයේ නරේන්ද්‍ර මෝදී ක්‍රීඩංගනේයේදී ඊයේ (21) සහ අද (22) IPL අවසන් වටයේ තරග පැවැත්වෙන අතර එම අවස්ථාවේ මොවුන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම්කර තිබූ බවටද ඉන්දීය විමර්ශන කණ්ඩායම් මේ වනවිට සැක පලකරයි.

The Hindu වාර්තාවේ දැක්වුයේ, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන නූබූර් ශර්මා,රාජා සිං සහ උප්දේශ් රානා ඝාතන කිරීමට මෙම සිව්දෙනා සැලසුම්කර තිබූ බවයි.

ඔවුන්ගේ දුරකතන පරීක්ෂා කිරීමේදී ඊට අදාළව තොරතුරු ලැබී තිබූ බව හින්දු වාර්තාවේ සඳහන් වේ.

නර්මදා ගංගාව අසල ස්ථානයක ජායාරූපයක්ද එම දුරකතනවල තිබී සොයාගෙන ඇත.

පාකිස්ථානයේ නිෂ්පාදිත අවි අයුධ සහ උණ්ඩ හමුවී සොයගෙන තිබුනේ පසුව සිදුකළ පරීක්ෂා කිරීම් වලදීයි.

ඊට අමතරව ISIS සංවිධානයේ ධජයක්ද හමුවී ඇති අතර ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු එම ධජය දැමීමට උපදෙස් ලැබී තිබූ බවයි.

අබු නැමැති පාකිස්ථාන ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ හතර බැගින් මෙම සිව් දෙනාට ලබාදී තිබූ බවද ඉන්දිය මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ වනවිට අහමදාබාද් සර්දාර් වල්ලබායි පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂාව තරකර ඇති අතර අත්අඩංගුවට ගත් සිව්  රහසිගත ස්ථානය රඳවා තිබේ.