ප්‍රදේශ රැසකට අදත් වැසි

ප්‍රදේශ රැසකට අදත් වැසි, වසර 9 කට පසුව ඩී. එස්. සේනානායක සමුද්‍රය වාන් දමයි...

by Staff writer 11-01-2024 | 6:32 AM

COLOMBO (News 1st) - ඌව පළාතට මෙන්ම පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලට මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුර, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් අද (11) සිට අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පලටුපාන පිවිසුම අවහිර වී ඇති බවයි. 

ඒ, වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙනි.

ඒ හේතුවෙන් යාල වනෝද්‍යානයට සංචාරකයින්ට ඇතුළුවීමට අවස්ථාවක් නොමැති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඇදහැලෙන වැසිත් සමග වසර 9 කට පසුව ඩී. එස්. සේනානායක සමුද්‍රය ඊයේ පස්වරුවේ සිට වාන් දමා තිබේ.

ගල්ඔය සහ මොරවිල් ඔය පිටාර දැමීම හේතුවෙන් අම්පාර සේනානායකපුර වසම ජලයෙන් යටවී ඇත. 

අප වාර්තාකරු සඳහන් කළේ, මෙම ප්‍රදේශයේ නිවාස රැසක් හා විහාරස්ථානයක් ද ජලයෙන් යටව ඇති බවයි. 

මේ හේතුවෙන් අම්පාර - හිඟුරාන ප්‍රධාන මාර්ගයේ කොටසක් ද ජලයෙන් යටවී ඇත.

බදුල්ල, පින්අරාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදු වූ නාය යෑම් හේතුවෙන් අධිබලැති විදුලි රැහැන් පද්ධති කිහිපයක් කඩා වැටි තිබේ.

මේ හේතුවෙන් බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා මතුවිය.

මේ අතර ඊයේ බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය හාලිඇළ, උඩුවර 7 කණුව ප්‍රදේශයේ තවදුරටත් අවහිර වී තිබේ.