ද.අප්‍රිකාව ප්‍රසාද ලකුණුවල පළමු තැනට..

පකිස්ථානය පරාජය කළ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට..

by Hashini De Mel 27-10-2023 | 10:57 PM

COLOMBO (News 1st) - 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය දකුණු අප්‍රිකාව කඩුල්ලකින් අද (27) ජය ගෙන තිබේ.

ඒ, අනුව දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට අද පැමිණියේය. 

චෙන්නයිහිදී පැවැති තරගයේ ජයග්‍රහණයට ලකුණු 271ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පකිස්ථානයේ පළමු කඩුල්ල ලෙස අබ්දුල්ලා ශෆීක් ලකුණු 9කට දැවී ගියේ ය.

ඉමාම් උල් හක් ලකුණු 12යි.

නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්  තුන්වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ගොඩනැගුවේ ය..

රිස්වාන් ලකුණු 31ක් රැස් කළ අතර ඉෆ්ටිකාර් අහමඩ් ලකුණු 21යි. 

බාබර් අසාම් 31 වැනි එක් දින අර්ධ ශතකය අද වාර්තා කර තිබේ.

සෞද් ශකීල් ලකුණු 52යි.

ටබ්රෙයිස් ශම්සි කඩුලු 4ක් දවා ගත්තේ ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 270කි.

ලකුණු 271ක ඉලක්කයකින් නායක ටෙම්බා බවුමා සහ ක්වින්ටන් ඩී කොක්, දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළේ ය.

ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 34කට සීමා වූයේ ක්වින්ටන් ඩී කොක් ලකුණු 24කට පිටියෙන් ඉවත් වීමත් සමගයි.

ටෙම්බා බවුමා ලකුණු 28ක් රැස් කළේ ය.

රසී වැන්ඩර් ඩසෙන් ලකුණු 21යි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 136කදී බිඳ වැටුණි. 

ඔවුන්ගේ 5වැනි කඩුල්ලට එයිඩන් මාක්‍රම් සහ ඩේවිඩ් මිලර් අතර සබඳතාව ලකුණු 70කි.

මාක්‍රම් අද වාර්තා කළේ 10 වැනි එක් දින අර්ධ ශතකයයි.

ලකුණු 91කට ඔහුගේ ඉනිම අවසන් කිරීමට උස්මා මීර් සමත් විය.