ගුණාත්මක නොවන NVQ පාඨමාලා පැවැත්වූ ආයතන 81කට වැට

ගුණාත්මක නොවන NVQ පාඨමාලා පවත්වන ලද ආයතන 81ක් අත්හිටුවයි.. - කෝප් අනුකමිටුවේදී අනාවරණයක්

by Staff writer 05-08-2023 | 11:51 AM

 COLOMBO (News 1st) – ගුණාත්මක නොවන  NVQ පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 81 ක් අත්හිටුවා ඇති බව හෙළිවී තිබේ. 

මේ බව අනාවරණය වූයේ තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීමට පත්කළ කෝප් අනුකමිටුව රැස්වූ අවස්ථාවේදී ය. 

පුවත්පත් දැන්වීම් හරහා එම ආයතන මුද්‍රා තැබීමට අදාළව ගත් නෛතික පියවර දැනුම්දීමේ අවශ්‍යතාව ද එහිදි කෝප් අනු කමිටුව අධ්‍යාපන බලධාරින්ට දැනුම් දුන්නේ ය.
 
අනු කමිටුව අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේ ජාතික හා ජාත්‍යන්තර ‍රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශී කොට පොදු වැඩපිළිවෙළක් සකස් කිරීම කඩිනම් කරන ලෙසය.

ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශීය රැකියා සඳහා මේ වනවිට විශාල ඉල්ලුමක් පවතී. 

එබැවින් ගුණාත්මක බවින් යුත් පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද අනුකමිටුව අවධාරණය කළේ ය. 

අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පසුගියදා රැස්වූ කෝප් අනු කමිටුව හමුවට කැඳවා තිබුණි.