ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල මිල පහළට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල මිල පහළ දැමීමට නිෂ්පාදකයින්ගේ එකඟතාව

by Staff writer 21-06-2023 | 6:26 AM

COLOMBO (News 1st) - ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ දැමීමට එම අමුද්‍රව්‍ය ආනයනය කරන සමාගම් හා නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා පැවසුවේ, අමුද්‍රව්‍ය ආනයනකරුවන් හා නිෂ්පාදකයින් අවස්ථා කිහිපයකදී අමාත්‍යාංශයට ගෙන්වා මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම, ඉන්ධන මිල ගණන් පහළ යාම, බැංකු පොලී අනුපාත අඩුවීම ඇතුළු කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් අමුද්‍රව්‍යවල මිල ගණන් අඩු කිරීමේ හැකියාව ඇතැයි අමාත්‍යාංශයට ඔවුන්ට පෙන්වා දී තිබේ.

එසේම දැනට ඇණහිට ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රය නැවත සක්‍රීය කිරීම සඳහා අමුද්‍රව්‍ය මිල පහළ දැමීම අතිශය වැදගත් සාධකයක් බව ඔවුන්ට පෙන්වා දුන් බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

මේ සාකච්ඡා සඳහා සිමෙන්ති, යකඩ, ටයිල්, වයර් හා විදුලි උපකරණ ආනායනකරුවන් හා නිෂ්පාදකයින් සහභාගි වූ බව ද අමාත්‍යාංශය පැවසීය.

ලේකම්වරයා සඳහන් කළේ, ඇතැම් සමාගම් දැනටමත් සිය අමුද්‍රව්‍ය මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බවයි.