ශ්‍රී ලංකාව නිවහල් වූ පූර්ණ නිදහසක් ලබා වසර 51යි..

ශ්‍රී ලංකාව නිවහල් වූ පූර්ණ නිදහසක් ලබා වසර 51යි..

by Staff writer 22-05-2023 | 8:51 AM

COLOMBO (News 1st) – වසර 2500කට එහා ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ආසියාකරයේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස කිරුළ පැළඳි මේ පුංචි දිවයින, අද(22) නිවහල් වූ පූර්ණ නිදහසක 51 වන වසර සමරයි. 

අද Ceylon, Sri Lanka බවට පත් වූ ජනරජ දිනයයි.

වර්ග කිලෝ මීටර් 65,610 ක පොළෝ වපසරියකින් යුත් මේ රාජ්‍යය ගැන අපිට කුඩා කාලයේ පටන් උගන්වන්නේ අපේ රට පුංචි දූපතක් කියලයි. 

නමුත් ගොඩබිමේ භූමි ප්‍රමාණයට වඩා අට ගුණයක් විශාල සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් - මුහුදු කලාපයක් අයිති සුන්දර රටක්වූ අපේ මාතෘ භූමිය හරියට නිදාගෙන සිටින යෝධයෙක් වගෙයි.  

ලෝක බලකාමයට මෙය නැවතුම් සලකුණක් වූයේ, අපේ රටේ මේ උපාය මාර්ගික පිහිටීම නිසයි.

ඒ නිසාම පෘතුග්‍රිසී,ලංදේසී, ඉංග්‍රීසීන් යන ජාතින් ත්‍රිත්වයක අණසකට නතුවූ මේ දිවයින මුදා ගැනීමට ගන්නට ඊතලයට පමණක් නොව තුවක්කුවටද ලය පාමින් ගලා ගිය රුධිරය රටේ සිව්කොණේම අදටත් මිහිදන්ව තිබෙනු නොඅනුමානයි.

කිසිවිටකත් යුද්ධයකින් රටේ බලය සම්පුර්ණයෙන් අල්ලා ගැනීමට නොහැකිවූ තරමට ධීර වූ ජාතියක් ඔවුන් පරාජය කළේ කුමන්ත්‍රණ හා පාවාදීම්, ගිවිසුම්වලින් ය.

වීර පුරන් අප්පුලා,ගොංගාලේ ගොඩබණ්ඩලා,වීර කැප්පෙටිපොලලා පමණක් නොව මේ මේ රටේ අවාසනාවට බිහිවූ දොන් ජුවන් ධර්මපාලා එදත් මහ පොළොවේ විරල වූයේ නැහැ.

කෙසේ හෝ ජීවිත ගණනාවක කැපකිරීම් මතින් 1948 අප නිදහස දිනාගත්තත් එය දේශපාලන ප්‍රතිසංස්කරණ හරහා අනියමින් තම බලය මේ පොළොව තුළ රඳවා තබාගන්නට බ්‍රිතාන්‍යයන් දැරූ වෑයමේ අවසන් උපාය වූ ඩොමීනියන් නිදහසක් විය. 

ඒ කියන්නේ ඇත්තටම 1948 පෙබරවාරී 04 වෙනිදා නිදහස් වුවත් නිවහල් වුයේ නැහැ.

එය අර්ධ නිදහසක්, සියල්ලට උත්තරීතර වූයේ කිරීටයයි.  

1970 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛත්වය ගත් සමඟි පෙරමුණ අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ පොරොන්දුව ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කර ඊට අවශ්‍ය ජන බලය දිනා ගත්තේ ය

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමිකයට රැස්වෙලා 1970 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියලු දෙනා එකතුවෙලා සම්පාදනය කළ ලියවිල්ල මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ලේ කඳුළු ඩහදිය වගුරපු සියලු දෙනාගේ කැපකිරීම්වල අග්‍රඵලයයි

එය 1972 ජනරජ ව්‍යවස්ථාව නම් විය. 

1972 ව්‍යවස්ථාවට 51 වසක් ගතවන අද දිනයේ එවන් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය යළි මතුව තිබීම කාලය මැව් අරුමයයි.